මාස හයක් වයසැති තම දරුවා නීත්‍යානුකූල නොවන අයුරින් වෙනත් යුවළකට ලබාදුන් බව කියන මවක පිළිබඳ මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
දරුවාගේ පියා බව කියන අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කළ පැමිණිල්ලකින් පසු මෙම සිද්ධිය අනාවරණය වී තිබේ.
මහනුවර සුදුහුම්පොළ තිවංක බෝධි මාවත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මව අම්පාර රෝහලේ දී පසුගිය අප්‍රේල් මස 20 වැනිදා මෙම දරුවා බිහිකර ඇති බව සඳහන්ය.
නීත්‍යානුකූල විවාහය අත්හැරීමෙන් පසු මෙම කාන්තාව අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සමග විවාහවී තිබෙන බවත් එම විවාහයෙන් ලත් දරුවා හදාවඩා ගැනීමේ අපහසුතා නිසා ඇය විසින් මහනුවර තැන්නේකුඹුරේ පදිංචි යුවළකට පවරා තිබෙන බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
පළමු විවාහයෙන් දික්කසාද නොවී මෙම කාන්තාව දෙවන විවාහක් ද සිදු කරගෙන තිබෙන බවත් නීත්‍යානුකූල නොවන දෙවන විවාහයෙන් ලත් දරුවා හදාවඩා ගැනීමට සැමියා අකමැති වීම නිසා දරුවා වෙනත් අයෙකුට ලබා දීමට සිදුවූ බවත් මව පවසා තිබේ.
මෙම දරුවා පසුගිය ඔක්තෝම්බර් මස 24 වැනි දින තැන්නකුඹුරේ ප්‍රදේශයේ පදිංචි යුවළට ලබා දී ඇත්තේ නීතිඥවරියක විසින් අත්සන සහතික කරන ලද දිවුරුම් ප්‍රකාශයක්ද අදාළ කාන්තාවගෙන් ලබා ගැනීමෙන් අනතුරුවය.
නමුත් දරුවාගේ පියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර හා මහනුවර පොලිස් ස්ථානවල පැමිණිලි කොට ඇත්තේ තමාගේ පාදයක ආබාධයක් ඇතිවූ අවස්ථාවක තම බිරිඳ අලුත උපන් බිලිඳාද රැගෙන පලා ගොස් ඇති බවටය. මෙම බිලිඳා හදාවඩා ගැනීමට නොහැකි බව තමා කිසිම දවසක බිරිඳට පවසා නොමැති බවත් ඇය සෙවීම සඳහා මහනුවරට පැමිණි සෑම අවස්ථාවකම ඇය තමාට මුහුණ නොදී සැඟවුණු බවත් හෙතෙම පවසයි.
දරුවා දින 40 ක කාලයක් තැන්නකුඹුරේ පදිංචි යුවළ ළඟ හැදී වැඩී ඇති අතර 21 දින දරුවා යළි ඔවුන්ගෙන් ලබාගෙන මවට භාර දීමට පොලිසිය කටයුතු කර තිබේ.
එම අවස්ථාවේ දරුවා හදාවඩා ගැනීමට ගත් යුවළ හඬා වැලපී ඇත.
දරුවෙකු හදාවඩා ගැනීම උදෙසා නීත්‍යානුකූල ක්‍රමය වනුයේ අධිකරණය මගින් එම දරුවා ලබා ගැනීම වුවද එම නීතිය ඉතා හොඳින් දන්නා මෙම සිද්ධියට මුල් වූ නීතිඥවරිය නීති විරෝධී ආකාරයෙන් මෙම ළමා ගනුදෙනුවට මැදිහත් වී ඇතිදැයි සැක සහිත බව ප්‍රදේවාසීහු පවසති.
කමල් සුරවීර - මහනුවර
0 Comments