රාජගිරිය නාවල පාරේ බෝතල් පත්තර කඩයක් සහ නිවසක් බිඳ රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමින් යුත් තඹ සහ පිත්තල ඇතුළු භාණ්ඩ තොගයක් සොරාගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය බණ්ඩාරනායක පුර පදිංචි තිදෙනකු බව පොලිසිය කියයි. මෙම තිදෙනා මීට මාසයකට පමණ පෙර රාජගිරිය නාවල පාරේ පිහිටි බොතල් පත්තර කඩයකට අවස්ථා දෙකකදී ඇතුළු වී රුපියල් ලක්ෂ පහ හමාරක් වටිනා තඹ සහ පිත්තල තොගයක් ද රාජගිරිය ලේක් ඩ්‍රයිව් ගාර්ඩන්හි නිවසක් බිඳ ඉලෙක්ට්‍රොනික් ජෙනරේටරයක් සහ ගෑස් කුකර් එකක් ද සොරා ද ගෙන ගොස් තිබුණි.
ඒ පිළිබඳව වැලිකඩ පොලීසියට කර තිබූ පැමිණිලි තුනකට අනුව සැකකරුවන් සොයා විමර්ශන සිදු කරමින් සිටියදී බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය භාර අධ්යක්ෂ ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් හා නියෝග මත කොට්ඨාස අංක 3 යටතේ තවත් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ අනුව විමර්ශන සිදු කරමින් සිටියදී පොලිස් සැරයන් (38723) රංජිත් නිලධාරියාට ලද තොරතුරකට අනුව රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
පසුව ඔවුන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමකදී නාවල පාරේ බෝතල් පත්තර කඩයක් බිඳ සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ පහ හමාරක් වටිනා තඹ සහ පිත්තල තොගය අතරින් තඹ කිලෝ 274 සහ පිත්තල කිලෝ 10ක්, සොයා ගත් බව පැවසේ. ඒ අනුව තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ලේක් ඩ්‍රයිව් ගාර්ඩ්න්ස්හි නිවසින් සොරාගත් ඉලෙක්ට්‍රොනික ජෙනරේටරය සහ ගෑස් කුකර් එක ද සොයා ගෙන තිබේ.
රුපියල් ලක්ෂ හතකට ආසන්න මෙම භාණ්ඩ තොගය බොරැල්ල දෙමටගොඩ සහ රාජගිරිය ප්‍රදේශවල බෝතල් පත්තර කඩ තුනකට විකුණා රුපියල් ලක්ෂයක් පමණ මුදලක් ලබාගෙන තිබූ බවත් ඉන් රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ වටිනා භාණ්ඩ තොගයක් මේ වනවිට සොයා ගෙන ඇති බවත් ඉතිරි භාණ්ඩ සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.
සැකකරුවන් තිදෙනා අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වූවන් වන අතර ඉන් එක් පුද්ගලයෙකු දේපළ කොල්ලකෑම් සම්බන්ධයෙන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බව පැවසේ . අත්අඩංගුවට ගත් රාජගිරිය බණ්ඩාරනායක පුර පදිංචි (36 සහ 51) වයස්වල පුද්ගලයන් දෙදෙනා සහ ජනාධිපති විද්‍යාල මාවතේ පදිංචි (47) හැවිරිදි පුද්ගලයා අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමට වැලිකඩ පොලීසියට භාරදීමට නියමිතය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
0 Comments