parliament-police-robbed

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වශයෙන් පෙනී සිට සෝදිසිකරන මුවාවෙන් මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑ බව කියන, පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක් ඉකුත් 9 වැනිදා රාත්‍රියේ වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  සැකකාර කොස්තාපල් ඇතුළු තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිව සිටින බවත් අයිස් පානය සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් පොලිස් නිල ඇඳුම පිටින්ම ත්‍රිරෝද රථයකින් ගොස්, මෙම කොල්ලය සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.

සැකකාර කොස්තාපල් ඉකුත් 9 වැනිදා රාජකාරිය නිමා කර නිල ඇඳුමෙන් ඔහුගේ ගෝලයන් දෙදෙනා ද සමග එක්ව ත්‍රිරෝද රථයකින් මීතොටමුල්ල හන්දියේ රේල්පාර අසල නිවසකට එදින රාත්‍රියේ ගොස් එය පරීක්ෂා කරන මුවාවෙන් නිවසේ පුද්ගලයකු පැළඳ සිටි මුදු දෙකක් ඇතුළු 35,000කට ආසන්න වටිනාකමින් යුත් මුදල් හා දේපළ කොල්ල කා ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් සම්බන්ධයෙන් නිවැසියන්ට ඇති වූ සැකයක් මත පොලිස් හදිසි ඇමතුම් අංශය (119) වෙත දැනුම් දී ඇති බවද පොලිසිය සඳහන් කරයි. නිවැසියන්ගේ කෑ ගැසීම ඇසී අවට සිටි පිරිස් ද එම නිවසට ගොස් ඇති නිසා සැකකරුවන්ට පලා යාමට නොහැකිව සිට ඇත.

ලැබුණු තොරතුරු අනුව වහාම ක්‍රියාත්මක වූ වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයට ගොස් අවට පිරිසගේ සහායෙන් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිල ඇඳුමෙන් සැරසුන කොස්තාපල්වරයා වසර 13 ක පමණ පොලිස් සේවා කාලයක් සපුරා ඇති බවත් ඔහු පාර්ලිමේන්තු කොට්ඨාසයේ වස 3 ක පමණ කාලයක සිට සේවය කරන බවත් පොලිසිය කියයි.  සෙසු සැකකරුවන් දෙදෙනා ඔහුගේ ගෝලයන් බවත් තිදෙනාම අයිස් මත්ද්‍රව්‍යයට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයන් බවත් පොලිසිය සඳහන්  කරයි.

මොවුන් මාලබේ, බත්තරමුල්ල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30-40 අතර වයසේ පසුවන පුද්ගලයන් බවද පොලිසිය පවසයි.

සැකකාර කොස්තාපල් (82151 ) දිසානායක නමැත්තා පෙරේදා සිට වැඩ තහනම් කර ඇති බව ද පොලිසිය කියයි.  කොල්ලකෑම සඳහා එම සැකකරු භාවිත කළ පොලිස් නිල ඇඳුම, අත්විලංගුව නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
ඉන්දිකා රාමනායක