peradeniya-students-remanded

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුතාට පහරදී නිල නිවසට ද හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනා ලබන 22 දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා ඊයේ (13) නියෝග කළේය.

සැකකරුවන් දස දෙනා ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.  අයුතු ජනරාශිය, පහරදී තුවාල සිදු කිරීම, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් රජයේ දේපළවලට හානිකිරීම යන චෝදනා යටතේ ඔවුහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියහ. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සහ ශාස්ත්‍රපීඨයේ සිසුන් පිරිසකි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සිසුන් 12 දෙනාගෙන් සිසුන් 6 දෙනකු පේරාදෙණිය පොලිසියට පෙරේදා (12) රාත්‍රියේ බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් ඉතිරි සිසුන් සිවු දෙනා ඊයේ පෙරවරු පොලිසියට බාර වූ බවත් පොලිසිය කියයි.  යතුරුපැදියක් මාර්ගයේ නවතා තැබීමේ සිද්ධියක් මුල්කර ගනිමින් සිසුන් පිරිසක් මහාචාර්යවරයාගේ පුතා සමග ඇති කරගත් බහින් බස්වීමක් දුරදිග  යාමෙන් පසු සිසුන් 300 දෙනකුට අධික පිරිසක් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාගේ නිල නිවසට ඇතුළු වී මහාචාර්යවරයාට සහ ඔහුගේ පුතාට පහරදී නිවසේ දේපළවලටද හානිකර ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා සහ ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සිද්ධියට අදාළ සී සී ටී වී දර්ශන සහ තවත් විමර්ශන අනුව සැකකාර සිසුන් 12 දෙනකු හඳුනාගෙන ඇති අතර එම සිසුන් 12 දෙනාගේ නම් ලයිස්තුව පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පෙරේදා ඉදිරිපත් කර ඇත.  එම නම් අනුව පොලිසිය එම සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් සිටියදී සිසුන් 10 දෙනකු මේ අයුරින් පොලිසියට බාරවූ බවද පොලිසිය පවසයි. තවත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය කියයි.  පහරදීම සම්බන්ධයෙන් මහාචාර්වරයා ද තවත් සිසුවකු සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදී ඇති බවත් එම සිසුවා දැනට හඳුනාගෙන ඇති සිසුන් 12ගේ කණ්ඩායමට අමතර සිසුවකු බවත් පොලිසිය කියයි. ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.

  ජේ.ඒ.එල්. ජයසිංහ