pitipana-university-rag

හෝමාගම පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ නවක වද ක්‍රියාකාරකම් වැඩිවී ඇත්තේ ඒවා පාලනය කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු නොකිරීමත්, විනය විරෝධී - ක්‍රියා ගැන සොයා බැලීමට බලධාරියකු විශ්වවිද්‍යාලය තුළ නොවීමත් නිසා බව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති රහස්‍ය බුද්ධි වාර්තාවක සඳහන්ව ඇතැයි වාර්තා වේ.නවක වද ක්‍රියාකාරකම් පාලනය කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත්, රජයත් විසින් ගනු ලබන තීරණ මෙම විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක නොවීම ද එම ක්‍රියාකාරකම් වැඩිවීමට හේතු වී ඇති බව ද එහි සඳහන් වේ.



නවකවදය පමුණුවන සිසුන් අතර එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරි සාමාජිකයන්ද සිටින බව අනාවරණය වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ. මෙම ක්‍රියාකාරකම් නිසා සිසුන් මානසික පීඩනයට ලක්ව ඇති බැවින් මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර ගත යුතුව ඇතැයිද එහි සඳහන් වේ. සතියක් පමණ තිස්සේ පල්කරන ලද අපද්‍රව්‍ය සහිත ජලය පිරවූ වළවල්වල රැඳවීම, බලහත්කාරනේ මත්ද්‍රව්‍ය පානයට යොමු කිරීම, දරාගත නොහැකි වන සේ අධික ලෙස ව්‍යායාම් සිදුකරවීම, දින කිහිපයක් තිස්සේ නිසි පරිදි ආහාර ලබා නොදීම, ස්වයං වින්දනයේ යෙදවීම හා ලිංගික ඉරියව් නිරූපණය කරවීම යනාදී දේ නවක වදය ලබා දෙමින් සිදු කර ඇති බව ද එහි සඳහන් වේ.



නවක වදයට එරෙහිව සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ලේඛකාධිකාරිවරයා, ප්‍රධාන ශිෂ්‍ය කටයුතු උපදේශකවරයා ඇතුළු පාලනාධිකාරය සමග සාකච්ඡා කර ඇති බව ද වැඩබලන උපකුලපති නෙලුවේ සුමනවංශ හිමියන් ඊට නිසි පරිදි මැදිහත් නොවන නිසා, තමන්ට කිසිවක් කළ නොහැකි බව පාලනාධිකාරය සිසුන්ට දැනුම් දී ඇති බව ද එහි සඳහන් වේ. පසුව මෙම තත්වය පාලනය කිරීමට විශ්වවිද්‍යාලයට පොලිස් නිලධාරීන් පැමිණීමට විරෝධය දැක්වීමත්, නවකවදයට සම්බන්ධ සිසුන් නවක වදයට එරෙහි සිසුන්ගේ කාමරවල දොරවල්වලට පහරදෙමින් පරුෂ වචනයෙන් බැණ වදිමින් තර්ජනය කර ඇති බවද වාර්තාවේ සඳහන් වේ.