ranil-apple-14-pro

පෙරේදා (03) පස්වරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා Apple iphone දුරකථන ගැන කථා කළේය. ඔහු පවසන්නේ දුරකථන සියල්ල එක වගේ වුණත් විශාල මුදල් ගෙවා  ඒවා මිලට ගන්නට තරුණයින් පෙළඹී ඇති බවත් එමගින් ඩොලර් නාස්ති වන බවත්ය.



මෙම උත්සවයට පැමිණ සිටි තරුණ පිරිස ප්‍රශ්න කර සිටියේ වත්මන් අර්බුදකාරී වාතාවරණය හමුවේ තරුණ ප්‍රජාවට ලෝකය පිළිබඳව යාවත්කාලීන වීම ගැටලුවක් බවට පත්ව ඇති බවයි. ජනාධිපතිවරයා ඊට මෙලෙස පිළිතුරු ලබාදුන්නේය.

"විශාල ප්‍රශ්නයක් රුපියල තුන්සිය හැත්තෑවට, තුන්සිය අසූවට තියෙනකොට ඩොලර් එක හා සම්බන්ධව. සමහර අය කොහොම හරි මුදල් හොයාගෙන ඒ වැඩකටයුත්ත කළා. අලුතින්ම තියෙන ඇපල් ජංගම දුරකථනය මොකක්ද?"

තරුණයන් - ''ඇපල් ෆොර්ටින් ප්‍රෝ...''



ජනාධිපති - "මේ අවුරුදු හතරට ඇපල් කීයක් ඇවිත් තියෙනවා ද? මම අගමැති කාලේ ඇපල් අටද නවයද තිබුණේ. ඒගොල්ලෝ බලන්නෙත් කොහොම හරි අලෙවිය වැඩිකර ගන්න. ඒකටම හුවාවේ එකත් අලුතින් ගේනවා. මෙතන තියෙන්නේ ජංගම දුරකථනයක් අරගෙන ක්‍රියා කරන්න. තමන් වාහනයක් ගත්තොත් හැම වෙලේම බෙන්ස් කාර් එකක් ගන්න බලන්නේ නෑනේ. තියෙන ජංගම දුරකථනයකින් වැඩකටයුතු කරගෙන යන්න."

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

 "මේ රටේ තිබුණ ආර්ථික කඩා වැටීම එක සැරේ වුණ එකක් නෙමේ. අවුරුදු දෙකකට පෙර දැන සිටියා. පාර්ලිමේන්තුවේ මේ ගැන විවාද කළා. ආර්ථිකය වැටිලා මේ තත්ත්වයට එනවා කියල එකම වාර්තාවකින්වත් පාර්ලිමේන්තුව දැනුවත් කළේ නැහැ. ඒ කාලේ ආණ්ඩුවේ මන්ත්‍රිවරු බහුතරයක් හිටියා. බහුතරයක් හිටියත් සුළුතරයට වාර්තා දාන්න පුළුවන්. විපක්ෂයවත් එහෙම වාර්තා දාලා තිබුණේ නැහැ. දෙපැත්තම මේක කළේ නැහැ. මහ බැංකුවේ අධිපති ගෙනහැල්ලා සාකච්ඡා කළා. නමුත් අනතුරු ඇඟවීමක් සිදුවුණේ නැහැ."