shammi-silva-legal-action
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාට එරෙහිව චෝදනා එල්ල කළ තිදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව ඔවුන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

“විදෙස් සංචාරවලට කාන්තාවන් අරන් ගිහින් ෂම්මි සිල්වා සැප ගත්තේ කාගේ සල්ලි වලින්ද?” යනුවෙන් ලංකා ඊ නිවුස් හා හිරු ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය වූ ප්‍රවෘත්ති අදාළ කරගෙන ඒ ගැන මාධ්‍ය ඔස්සේ කතා කළ සහ සීඅයිඩියට පැමිණිලි කරන ලද අයට නඩු පවරන බව දන්වා ඇත. ක්‍රිකට් තරග සඳහා විදෙස් සංචාර යද්දී ක්‍රිකට් තරගාවලිය සදහා කිසිදු අදාළත්වයක් නැති සුරූපී තරුණියන් ශ්‍රීලංකා ක්‍රිකට් වියදමින් රැගෙන ගොස් ඔවුන් හා විනෝද වූ බවට එම වාර්තා වලින් පැවසිණි.එම වාර්තා සම්බන්ධයෙන් පසුව සමාජ කථිකාවක් මෙන්ම ඒ ගැන සොයන ලෙස සීඅයිඩියට පැමිණිලිද යොමු විය.

ඒ අනුව අසේල සම්පත්, සංජය මහවත්ත ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට ක්‍රිකට් ආයතනය නඩු පැවරීම සිදු කරන බව දන්වා ඇත.
නිවේදනයේ මෙසේ දැක්වේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යහපත් නාමයට සහ ඒකාග්‍රතාවයට බාධා පමුණුවන පදනම් විරහිත සහ ද්වේෂසහගත චෝදනාවල බරපතලකම පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින් එහි සභාපති ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව කඩිනම් කරන ලෙස එහි නීති උපදේශකවරයාට උපදෙස් දී ඇත. එමෙන්ම එම අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශය සිදු කරමින් පසුගියදා මාධ්‍ය හමුවේ පෙනී සිටි අසේල සම්පත්, සංජය මහවත්ත ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදුකරනු ඇත.
විදෙස් සංචාරවලට කාන්තාවන් අරන් ගිහිං ශම්මි ද සිල්වා සැප ගත්තේ කාගේ සල්ලිවලින්ද” යනුවෙන් හිරු පුවත් වෙබ් අඩෙවිය ඔස්සේද, 2022 වසරේ නොවැම්බර් මස 25 වැනිදා ලංකා ඊ නිවුස් නැමැති ලංකාවේ තහනම් කර ඇති  වෙබ් අඩෙවිය විසින්ද මෙම ද්වේශසහගත ප්‍රවෘත්තිය පළ කර තිබුණත් එවැනි ආකාරයේ කිසිදු පුද්ගලික සංචාරයක් සඳහා කිසිවකුටත් අරමුදල් සපයා නොමැති බවත් එම චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් තරයේම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කර සිටියි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  හා එහි නිලධාරීන්ගේ  කීර්තිනාමයට හානි කිරීම අරමුණු කරගෙන පළ කරන ලද මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කරන ලද පිරිස ඇතුළුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම අසත්‍ය පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයන්ට එරෙහිව සුදුසු එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නීති අංශ වෙත උපදෙස් ලබා දීමටද පියවර ගෙන තිබේ“

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම අසත්‍ය සහ අවමන් සහගත ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට සිදුවූ කීර්තිනාම පාඩු වෙනුවෙන් එක් අයෙකුගෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා ඉල්ලීම් ලිපි යවා ඇති බව දන්වා සිටියි. ක්‍රිකට් ආයතනය සංචාර සදහා සුරූපී කතුන් රැගෙන යාම සම්බන්ධ සීඅයිඩී විමර්ශනයේ ප්‍රගතිය ගැන තවම වාර්තා නොවේ.