the-sweat-health

මිනිස් සිරුරේ සිදුවන ඇතැම් ක්‍රියාවන්ට සිත මුල් වෙන අතර, නොසිතා කරන ක්‍රියා මෙන්ම සිතා කරන ක්‍රියා ආදී වශයෙන් ඒවා එකිනෙකට වෙනස් වෙයි. නොසිතා කරන එසේත් නැතිනම් ඉබේ කෙරෙන ක්‍රියා අතර දහඩිය දැමීමත් වැදගත් ස්ථානයක් හිමි කරගන්නා ක්‍රියාවක්. ඒ අනුව දහඩිය දැමීම කියන්නේ අනිච්චානුක ක්‍රියාවක්, එසේත් නැතිනම් නොසිතා සහ උත්සාහයකින් තොරව සිදුවන ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකිය. ඉච්චානුක ක්‍රියා මේ අනුව සිතා සහ උත්සාහයක් දරා සිදුකරන ක්‍රියා බව ඔබට වැටහෙනු ඇති, සාමාන්‍යයෙන් දහඩිය දැමීම දැඩි උෂ්ණත්වයක් සමග බැඳුණු තත්ත්වයක් බව ඔබ දන්නවා ඇති. නමුත් ඇතැමෙකුට ශීත අවස්ථාවක වුවත්, අනවශ්‍ය ලෙස දහඩිය දමනවා නම් සහ විශාල වශයෙන් දහඩිය දමනවා නම් එම තත්ත්වය පිළිබද ඔබ දැනුම්වත්ව සිටිය යුතු කරුණු මොනවාදැයි අද අප මෙම ලිපිය තුළින් වැඩිදුරටත් සොයා බලමු. සමහරුන්ට දහඩිය දමන්නේ සුළු වශයෙනි. එහෙත් තවත් සමහරෙකුට අධික ලෙස දහඩිය දමනු ඇත.

මෙයින් ඔබට ඇත්තේ කුමන ගැටලුවද යන්න පිළිබඳව හා ඒ ලක්ෂණ නවතා ගැනීම සඳහා ඔබ කුමක් කළ යුතුද යන්න පිළිබඳ දැන් අපි විමසා බලමු. දහඩිය දැමීම සමෙන් සිදුවන ක්‍රියාවලියක්ද? නොඑසේ නම් මීට කිසියම් ග්‍රන්ථි විශේෂයක බලපෑමක් තිබේද? අපි පළමුව එය විමසා දැනගමු.

දහඩිය දැමීමට කිසිම භේදයක් නැත. බාල, මහලු සහ ගැහැනු, පිරිමි සැමටම එක හා සමානව දහඩිය දමන අතර, මෙයට ජාති, ආගම්, කුල හෝ වයස් භේදයක් දැක්විය නොහැකිය. සාමාන්‍යයෙන් දහඩිය පිටවීම සමේ මතුපිට සිදුවෙන ආකාරයක් අපි දකින නමුත්, මෙය ස්වේද ග්‍රන්ථි හරහා සිදුවන ක්‍රියාවලියක් වශයෙන් හඳුන්වා දිය හැකිය. මේ දහඩිය නිකුත් කරන ග්‍රන්ථි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. එක්‍රීන් (Ecrine) සහ එපොසීන් (Epocine) ලෙස මෙම ග්‍රන්ථි කොටස් දෙකකට බෙදෙන අතර, ඒ ග්‍රන්ථින්වල ක්‍රියාකාරීත්වයේද යම් වෙනස්කම් පවතී. එක්රීන් යන ග්‍රන්ථි විසින් ඇතිකරන දහඩිය දැමීම සාමාන්‍යයෙන් ශරීරයේ ඕනෑම තැනක ඇති විය හැකිය. එහෙත් එපොසින් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වයෙන් ඇතිවන දහඩිය ඉකිලි කිහිලි වැනි රෝම සහිත තැන්වල ඇතිවෙයි. දැන් දහඩිය දැමීමෙන් සිරුරට ඇතිවන ප්‍රයෝජනය කුමක්දැයි ඔබ සිතනවා ඇති. ඔව් මෙයින් අපට තිබෙන ප්‍රයෝජනය ශරීරයේ උෂ්ණත්වය පාලනය වීමයි. දහඩියේ සංයුතිය සැලකුවහොත් එහි සියයට අනූනවයක්ම ඇත්තේ ජලයයි. මෙහිදී ශරීරයට ඉතාම වැදගත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදුවේ.



අපේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ ගිය විට සමේ රුධිරවාහිනී පළල් වී සම රතු වී දහඩිය දැමීමට පටන් ගනී. මේ දහඩිය පිටවීමට අවශ්‍ය උෂ්ණත්වය අපේ ශරීරයෙන් උරාගන්නා අතර, සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් පැයකට 0.5L ප්‍රමාණයකුත්, ක්‍රීඩකයෙකුගෙන් 3L හෝ 4L අතර ප්‍රමාණයකුත් දහඩිය නිෂ්පාදනය කරයි. දහඩිය දැමීමේ අවස්ථා සැලකුවහොත් එය ගණනින් අවස්ථා දෙකකි. පළමු අවස්ථාව එනම් ප්‍රාථමික අවස්ථාවේදී කකුලේ යටිපතුල, කිහිලි හා මුහුණ ආශ්‍රිත ප්‍රදේශවල වැඩිපුර දහඩිය දමනු දකින්නට ලැබෙයි. එමෙන්ම හිටිගමන් මෙහි දහඩිය දමනු වැඩි බවක් දක්වන්නටද ඉඩ තිබේ. මෙය මානසික ආතති තත්ත්වයන් මුල්කොට ගෙන සිදුවන්නකි. මෙය කෙලින්ම මොළයේ  මස්තිෂ්කය හරහා එන උත්තේජනයකි. එබැවින් අධිකව දහඩිය දැමීම මානසික ආතතිය සහිත අවස්ථාවල දැකිය හැකිය. උදාහරණයක් ලෙස විභාගවලට සහ සම්මුඛ පරීක්ෂණ ආදියට මුහුණ දීමේදී ඇතිවෙන්නට පුළුවන. මේ තත්ත්වය බොහෝ විට එකම පවුලේ තවත් සාමාජිකයෙකුටත් පවතින්නට ඉඩ තිබේ. අත්ල හා කකුලේ පතුල මත දහඩිය දැමීම නිසා සාමාන්‍ය ජීවිතයට නොයෙකුත් කරදර ඇතිවන බැවින්, බොහෝවිට මෙවැනි අය සමාජයෙන් කොන් වී සිටීමට වුවද උත්සාහ දරන්නට පුළුවන. විශේෂයෙන්ම අත්ලට දහඩිය දමන පුද්ගලයන් අතට අත දීම වැනි ක්‍රියාවන් ඉදිරියේ පසුබෑමකට ලක්වෙන්නට පුළුවන, ඒ අප පැහැදිලි කරනු ලැබුවේ ප්‍රාථමික අවස්ථාව පිළිබඳවයි. දැන් අපි එහි ද්විතීයික අවස්ථාවේ ලක්ෂණ හඳුනා ගනිමු.

කෙසේ නමුත් මේ අවස්ථාවේ ලක්ෂණ බහුල නොවේ. එහෙත් එසේ එම ලක්ෂණ ඇතිවීමට හැකි අවස්ථාවලට හේතු ලෙස ජානමය වෙනස්වීම්, නොයෙකුත් ආසාදනයන් ඇතිවීම, තයිරොයිඩ් වැනි හෝර්මෝනවල ඇතිවන ප්‍රශ්න පෙන්වාදිය හැකියි. ඇතැම් පිළිකා වර්ග නිසා, දියවැඩියාව නිසා, පිටියුටරි ග්‍රන්ථියේ අසාමාන්‍යතා නිසා, ආර්ථවය නිසා, ගර්භිණී තත්ත්වය නිසා, ස්නායු පද්ධතියේ ඇතැම් ආසාදන නිසා, අංශභාගය, මත්පැන් භාවිතාව නිසා, ඇතැම් ඖෂධ හා ආසනික් නිසා යන තත්ත්වයන්ද මෙයට හේතු වශයෙන් සැලකිය හැකියි. සමහර පුද්ගලයන්ගේ ඇඳුම්වල කිහිලි අවට තදින් කහ පැහැ ගැන්වී තිබෙනු ඔබ දැක තිබේද? එයට හේතුව දහඩිය සමග ඇතිවෙන බැක්ටීරියාමය තත්ත්වයක් මුල්වූ රෝගයක ලක්ෂණයි. නිතරම දහඩිය දැමීම නිසා එහි ඇති රෝමවල දහඩිය තැවරී තිබෙන බැවින්, මෙහි බැක්ටීරියා වර්ධනය වීමට සුදුසු පරිසරයන් ඉබේම හටගනී.

මේ ආසාදනය නිසා Bromo Hydrosis තත්ත්වයට පත්වී නිරන්තරයෙන් දහඩිය දැමීමට පටන් ගනියි. ඊට අමතරව මෙම බැක්ටීරියාවලින් ශ්‍රාවය වන ප්‍රෝටීන් ඇමෝනියා වායුව පිටකිරීම නිසා අධික දුර්ගන්ධයකින්ද යුක්ත විය හැකිය. මේ තත්ත්වය යටිපතුල්වලද ඇතිවෙන්නට ඉඩ තිබේ. එවිට යටිපතුලේ ඉතා කුඩා සිදුරු වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. මෙවිට දැඩි අප්‍රසන්නතාවයක් ඇති විය හැකි අතර, මේ පිළිබඳ අවබෝධයකින් තොර පුද්ගලයත් ඔවුන්ව සාමාජීය වශයෙන් කොන් කිරීම්වලට පවා ලක් කරන්නට ඉඩ තිබේ.මෙවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ කුමක්ද? දැන් අපි එය විමසා බලමු. පළමුව ඔබ ඔබේ පෞද්ගලික පවිත්‍රතාවය පිළිබඳ කාරණයට පළමු ස්ථානය දිය යුතුය. මනාකොට ස්නානය හෝ ඇඟ සේදීම හරහා සම පවිත්‍රව තබාගන්නා සේම දහඩිය හොදින් උරාගන්නා ලෙස සුදුසු කපු ඇඳුම් භාවිතයට පුරුදු වෙන්න. කිහිලි ආශ්‍රිත රෝම ඉවත් කර දැමීම මෙවැනි අවස්ථාවල කළ හැකි සරල උපක්‍රමයකි. විශේෂයෙන්ම ඩියෝඩ්‍රන්ට් වැනි විලවුන් වර්ග ගැල්වීමෙන් වැළකී සිටීමට හුරු වෙන්න.

මෙවැනි ද්‍රව්‍ය භාවිතාව නිසා අසාමාන්‍යතාවයට පත්වූ සමට තවදුරටත් රෝග වැලඳීමට ඇති ප්‍රවණතාවය වැඩිය. මෙවන් තත්ත්වයකදී ඔබ අනුගමනය කළ යුතු ප්‍රතිකාර මොනවාදැයි දැන් විමසා බලමු.

සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවකදී ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමට උපදෙස් ලබාදිය යුතු අතර, ඒ සඳහා ඔබේ වෛද්‍යවරයාගේ නිර්දේශය අවශ්‍යය. වැඩිපුර දහඩිය දැමීම පාලනය කිරීමට ආලේපන හා ස්ප්‍රේ වර්ග පැවතියත්, මෙවැනි ප්‍රතිකාර ක්‍රම ස්ථිර නැත. එය තාවකාලිකය. රාත්‍රී කාලයට ආලේප කිරීමට ඖෂධ වර්ග වෛද්‍යවරුන් නියම කරන අතර, මේවා රාත්‍රී කාලයේදී ගල්වා උදෑසන සෝදා හැරිය යුතුය. මෙය දැනට වැඩිපුරම භාවිත වන ක්‍රමයයි. ඊට අමතරව ගිලින පෙති වර්ගවලින් අපගේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වෙනස්වීමක් ඇති කරන නමුත්, මේවායින් අතුරු ආබාධ ඇති වන බව අප දැන සිටීම වැදගත්ය. ඉතාමත්ම හොඳ ක්‍රමය වනුයේ අල්ලේ හා දෙපතුලේ දහඩිය ගැලීම පාලනය කිරීම යන ක්‍රමයයි. මේ තුළින් සියුම් විද්‍යුත් ධාරාවක් එම ස්ථානවලට යැවීමෙන් දහඩිය පාලනය කරනු ලබයි. දියුණු රටවල මේ ගැටලුව සඳහා භාවිත කරනු ලබන්නේ එම ක්‍රමයයි. මේ ක්‍රමයට අමතරව මෙම ගැටලුව ඇති අයට එම එන්නත ලබාගත හැකිය. එමගින් මාස 4-6ත් අතර කාලය තුළ දහඩිය දැමීම නවතා තැබිය හැකි අතර, ඉන්පසු නැවත වරක් ලබාගත යුතුය. එමෙන්ම මෙය තරමක් වේදනා සහිත ප්‍රතිකාර ක්‍රමයක් බවද කිව යුතුය. දැන් අප ඖෂධ මගින් ඇති විය හැකි අතුරු ආබාධ මොනවාදැයි විමසා බලමු.

ඇස් වියළීම, මුඛයේ වියළි ස්වභාවයක් ඇතිවීම, පෙනීම දුර්වල වීම, මුත්‍රා අඩස්සිය වැනි ආබාධ මේ සදහා ගන්නා ඖෂධවල අතුරු ආබාධ ලෙස මතු විය හැකිය.ඒ නිසා මේ සදහා ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලැබීම වඩා සුදුසුම පිළිවෙත බව මතක තබාගන්න.

සටහන/ නාලිකා රාජපක්ෂ