who-covid

‘කොවිඩ් 19’ හෙවත් ‘කොරෝනා’ වයිරසය තව දුරටත් ලොවට තර්ජනයක් නොවන බවත්, වයිරසය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි තත්ත්වය ඉවත් කිරීමට හැකියාව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී, ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස්, ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුවර, ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේ, ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් පනවා ඇති ‛ගෝලීය හදිසි තත්ත්වය' ඉවත් කළ හැකි බවය. ‛කොවිඩ් 19’ වයිරසය මුල්කොට ගනිමින්, වයිරසයේ බිහිසුණු ස්වරූපය හඳුනාගෙන, ලෝක සෞඛ්‍ය සංවිධානය,

ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ 2020 වසරේදීය.

‘කොවිඩ් 19’ වයිරසය හිස එසවූයේ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. එය 2020 වනවිට ගෝලීය වසංගතයක් බවට පත් වී තිබුණි. සාර්ථක එන්නත්කරණයත්, ‘කොවිඩ් 19’ වයිරසයේ සැර බාලවීමත් සමඟ වයිරස අවදානම කෙමෙන් පහව ගිය බවත්, තව දුරටත් කොවිඩ් 19' සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස්, මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. 2023 වසර ආරම්භ වීමට පෙර, ‘කොවිඩ් 19' සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

‘කොවිඩ් 19’ පමණක් නොව, ‘එම් - පොක්ස්' හෙවත් ' මංකි පොක්ස්' (වඳුරු උණ) සම්බන්ධයෙන් ද ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේ, ‘එම්- පොක්ස්' සම්බන්ධයෙන් ද පැනැවූ එම හදිසි තත්ත්වය 2023 වසර ආරම්භයත් සමග ඉවත් කිරීමට හැකිවනු ඇති බවය.

“කොවිඩ් 19 හෝ එම්-පොක්ස් හෝ තව දුරටත් ලෝකයට තර්ජනයක් නොවෙයි. අවදානම් තත්ත්වය පහව ගොස් අවසන්. 2023 වසරට පය තබද්දී, මෙම වයිරස සම්බන්ධයෙන් පැනැවූ හදිසි තත්ත්වයන් ඉවත් කෙරේවි. ඒ අනුව, සෞඛ්‍ය සීමා මුළුමනින්ම ඉවත් වීම සිදුවේවි. කෙසේ නමුත් ‘කොවිඩ් 19' සම්බන්ධයෙන් අප පාඩම් ඉගෙන ගන්න ඕනෑ. යළි එවැනි අවදානම් තත්ත්වය ඕනෑම මොහොතක ඇති වෙන්න පුළුවන් බව සිහියට ගන්න ඕනෑ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී පැවැසීය.

ලොව සෙසු රටවල ‘කොවිඩ් 19' අවදානම පහව යමින් පවතින නමුත් වයිරසය ආරම්භ වුණු චීනයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 'කොවිඩ් 19' මර්දනයට චීනය දැඩි සීමා පනවමින් සෞඛ්‍ය නීති හඳුන්වා දී තිබුණි. කෙසේ නමුත් ජනතා විරෝධය සැලකිල්ලට ගනිමින් චීන රජය සහ සෞඛ්‍ය අංශ මේ වනවිට එම සීමා ලිහිල් කර තිබේ. ඒ අනුව, ආසාදිතයන් සොයා වයිරස ව්‍යාප්තිය පාලනයත් සිදු වන්නේ නැත. එහෙයින් චීන නගර රැසක ‘කොවිඩ් 19’ ආසාදිතන් වේගයෙන් ඉහළ යමින් පවතින බව ද වාර්තා වෙයි.