wushu-parents-legal-action

මේ දිනවල ඉන්දුනීසියාවේ පැවැත්වෙන 08 වැනි ලෝක කනිෂ්ට වුෂු ශූරතාවය සඳහා තරග වඳින කවීෂ බණ්ඩාර සහ වරංගා සෝමතිලකට අන්තර්ජාලය ඔස්සේ අපහාස කිරීමට එරෙහිව ඔවුන්ගේ දෙමාපියන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත.

දැනට පාසල් වුෂු සංගමයේ ලේකම් මෙන්ම දිප්පිටිගොඩ ප්‍රාථමික විදුහලේ විදුහල්පතිවරයාද වන නිල්මිණ සිරිසේන, වුෂු ක්‍රීඩාවේ වැරදි සම්බන්ධයෙන් විනය පරීක්ෂණයකින් වැරදිකරුවී වසර 07ක ක්‍රීඩා තහනමකට ලක්ව සිටින ජගත් කල්දේරා සහ දැනට තාවකාලික ක්‍රීඩා තහනමකට ලක්ව සිටින ප්‍රභාත් මනුරංග යන පාර්ශ්වයන්ට එරෙහිව දෙමාපියන් අදාළ පැමිණිල්ල සිදුකර තිබේ.



ලෝක කනිෂ්ට ශූරතා තරග ඉතිහාසය සඳහා සුදුසුකම් සපුරාගෙන තිබුණේ මෙකී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව පමණි. ඒ සඳහා අන්තර්ජාතික වුෂු සම්මේලනය මගින් සියළුම ප්‍රතිපාදන සපයා තිබිණි.

කවීෂ බණ්ඩාර 2018 වසරේ පැවැති ජාතික ශූරතාවයේ තම ඉසව් තුනේදීම රන් පදක්කම් මෙන්ම 2019 පාසල් තරගාවලියේ රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කමක්ද දිනා ගැණින. එමෙන්ම දකුණු කොරියාවේ පැවැති 09 වැනි ආසියානු කනිෂ්ට වුෂු තරගාවලියේදී 7 වැනි ස්ථානයත්, 2021 වසරේ අන්තර්ජාතික වුෂු සම්මේලනය මෙහෙය වූ ලෝක අන්තර්ජාල තරගාවලියේ දාඕෂු ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනා තිබිණි.

බල්ගේරියාවේ පැවැති කනිෂ්ඨ ලෝක වුෂු ශූරතාවලියේදී 06 වැනි ස්ථානය දිනාගත් ක්‍රීඩිකාව වූයේ වරංගා සෝමතිලකය.

එමෙන්ම බෲනායි සහ කොරියාවේ පැවැති ආසියානු කනිෂ්ට වුෂු තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාවද ඇයට සැලසිණ. එසේම මේ වසරේ පැවැති 17 වැනි ජාතික වුෂු ශූරතාවයේදී තායිජිචුවාන් හා තායිජිජියැන් යන ඉසව්වලින් රන් පදක්කම් දිනූ අතර මෙවර බස්නාහිර පළාත් තරගයේදීද රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගත්තාය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා වුෂු සම්මේලනයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන්කර සිටියේ, මෙම පුද්ලයින් තිදෙනාට එරෙහිව ශ්‍රී ලංකා වුෂු සම්මේලනය අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට කටයුතු කරන බවය.