How-the-Cabinet-attempt-to-disrupt-the-election-went-wrong

කැබිනට් මණ්ඩලය ලබාගත් තීරණය නිසා නැවත දැනුම් දෙන තුරු 2023 පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පෙරේදා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබීම ආන්දෝලනයට හේතුවිය. මෙම නියෝගය නීතියට පටහැණි බව කියමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ යොමු කළ ලිපිය හේතුවෙන් හපුහින්න පසු දින තම ලිපිය අහෝසි කර ආපසු කැඳවන බව දන්වන්නට සිදුවිය.
මෙම උත්සාහය නිර්ලජ්ජිත ලෙස පාළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමට රජය දැරූ උත්සාහයක් බවට හා අත්වන පරාජයේ අමිහිරියාවට ඇති බිය පෙන්නුම් කළ සිදුවීමක් ලෙස දේශපාලන විවේචන පැනනැගී තිබේ.



රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් නොතකා පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට ඊයේ නියෝග කළ අතර එම නියෝගය මේ වනවිට පිලිගත් සහ බලාත්මක නියෝගය බවට පත්ව තිබේ.

මේ අතර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යවමින් කියා සිටියේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් ලෙස‍ෙගැසට් පත්‍රයක් මගින් පත්කර ඇති බැවින් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් භාරගැනීම ඔවුන්ගේ වගකීමක් බවයි. පළාත් පාලන ආයතන මැතිවරණ ආඥාපනත හරහා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව නිකුත් කරන ලද නිවේදනය. ජනවාරි 18 වැනිදා සිට ජනවාරි 21 වැනිදා දහවල් දක්වා නාමයෝජනා භාරගැනීම තේරීම් භාර නිලධාරීන්ගේ වගකීමක් බවද කොමිසම සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නාමයෝජනා භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කිරීම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කිරීමක් බවයි.



මැතිවරණ කොමිසම සහ ජනාධිපතිවරයා අතර විරසකයක් පවතින බව පෙන්වා මැතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවද ඔහු පැවසීය.

“මැතිවරණ කොමිෂන් සභාව තුළ විරසකයක් පවතින බව පවසමින් නීතිපතිවරයාගේ මතය විමසා ඉන් පසු ඇප මුදල් භාර ගැනීමට කැබිනට් තීරණයක් ගෙන තිබෙනවා. එය කැබිනට් මණ්ඩලයේ බලතල ඉක්මවා මැතිවරණ කොමිසමට කරන බලපෑමක්” යැයි පැවසූ ඔහු කැබිනට් තීරණය නොතකා තැන්පතු භාර ගැනීමට මැතිවරණ කොමිසම ගත් නිර්භීත තීරණය අගය කළේය.

මේ අතර මෙකී උත්සාහය සහමුළින්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම, ජනතා පරමාධිපත්‍යයට එරෙහිව යාමක් බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙය මන්දිර සහ මණ්ඩල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයිද පැවසීය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාට පස්සෙ, මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාදාමය පවත්වාගෙන යාම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බව පැවසූ විපක්ෂ නායකවරයා කැබිනට් මණ්ඩලය ගෙන ඇති මෙම තීන්දුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නීති විරෝධී තීන්දුවක් බවද සඳහන් කළේය.