aluthgama-incident

අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු නිදැල්ලේ පැමිණ සපාකෑ බෙන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි විදේශිකයෙකු ඇතිදැඩි කළ සුනඛයා ජලභීතිකා රෝගය වැලඳී මියගිය බවට අනාවරණය වීමෙන් පසු අදාළ විදේශිකයා ඊයේ (02දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය පවසයි. බෙන්තොට, අංගාගොඩ, ලිපිනයේ පදිංචි 84 හැවිරිදි ප්‍රංශ ජාතික පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය කීය.

සැකකරු විසින් ග්‍රෙඩන් සුනඛ වර්ගයට අයත් අවුරුදු 6ක් පමණ වයසැති ලැකී නමැති බැල්ලියක සුරතලයට ඇති දැඩි කර ඇති අතර, බැල්ලිය ඉකුත් 23දා එම නිවසින් පැන ඇවිත් පුද්ගලයන් පස්දෙනෙකු සහ නිවාසවල ඇති කරන සුනඛයන් තිදෙනෙකු සපා කා තිබිණි.මේ වනවිට එම බැල්ලිය සපා කා තිබෙන නිවාසවල ඇති කළ සුනඛයන් දෙදෙනෙකු ද මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එම බැල්ලිය ඉකුත් 26දා හදිසියේ මියගොස් ඇති අතර, සුනඛ හිස බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමුකිරීමෙන් පසු කළ පරීක්ෂණවලදී ජලභීතිකා රෝගය වැලදී ඇති බවට තහවුරුව ඇති බව මහජන සෞඛ්‍ය පාර්ශ්ව නිලධාරීන් ද තහවුරු කර තිබේ.

සුනඛයා සපා කෑ පුද්ගලයන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර පළමු වරට ද එම පුද්ගලයන් අලුත්ගම පොලීසියට පැමිණිලි කර නැවත සුනඛයා සපාකෑම සම්බන්ධයෙන් අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අලුත්ගම පොලීසියට පැමිණිල්ලක් කර තිබූ බවද පොලීසිය පවසයි.සැකකාර ප්‍රංශ ජාතිකයා ඊයේ (02දා) දහවල් පොලීසියට කැඳවා අත්අඩංගුවට ගෙන තිබේ.

තුසිත කුමාර ද සිල්වා