තරහා යෑමට වයස් භේදයක් නැත. කුඩා දරුවන්ගේ සිට මහල්ලා දක්වා සැමටම මේ කියන මනෝභාවයන් පොදුය. නමුත් මේ කියන මානසික තත්ත්වය නිසා එසේ කේන්ති ගන්නන් අතර මානසික ආතතියට පත්වන, ඒ හරහා විශාදයට පත්වන්නන්ද සිටිය හැකිය. මේ නිසා කේන්ති ගැනීම නැතිනම් තරහ ආවේගයන් මුල්කොට ගෙන කටයුතු කිරීම පිළිබඳ අපි වඩාත් සැලකිල්ලක් දැක්විය යුතු අතර, තනිවම එය නිවැරදි කර ගැනීමට බැරි තත්ත්වයක් පවතින්නේ නම් එයින් මිදීමට මනෝ උපදේශනයට ලක්වීම අත්‍යවශ්‍ය වනු ඇත. ඇතැමුන්ට වෙනත් රෝගවල පීඩාවන් නිසා නිතර නුරුස්නා බවක් දැනීමට ඉඩ තිබෙන නමුත්, එය රෝගී තත්ත්වයක් ලෙසම අර්ථකථනය නොවිය යුතුය. ඒ නුරුස්නා බව තාවකාලික එකක් වන බැවිණි.
කෙසේ නමුත් තරහ ඇවිස්සීම නැතිනම් කේන්ති යෑම සමහරුන් විසින් විහිළුවට ගන්නා ස්වභාවයක්ද දකින්නට ඇත. කේන්ති ගන්නවුන්ට කටුත් එක්ක කොහිල කන්න යැයි ඇතැමුන් පවසනු ඔබද අසා ඇති. එයින් අරුත් ගැන්වෙන්නේ එම තැනැත්තා කේන්ති ගන්නට බලපාන පීඩාකාරී රෝගයක් වන අර්ශස් රෝගයෙන් පෙළෙනවා ඇතැයි විහිළුවට මෙන් පැවසීමය.
කෝපය විවිධාකාරය. එහෙයින් කෝපයට පත්වන අයෙකු ඇතොත්, එසේ වනුයේ ඇයිදැයි සොයා බැලීම වැදගත්ය. මන්ද කෝපය මානසිකමය තත්ත්වයක් වුවද එයට ශාරීරිකව පවතින යම් යම් අපහසුතාවල බලපෑමක්ද පැවතිය හැකි බැවිණි. අද අප සාකච්ඡාවට බඳුන් කරනුයේ කෝපය ඇතිවීම සහ එයින් මිදෙනා මග කෙසේ විය යුතුද යන්නයි. කේන්ති යෑම සමහර විට විශේෂ අවස්ථා පදනම් කරගෙන ඇති වන අවස්ථා විරල නැත. එනම් ගර්භණී බව ආර්ථවහරණය ආදී ස්වාභාවික අවස්ථාවලදී මෙන්ම සමහරුන් මුහුණදෙන වේදනා කැක්කුම් ආදියේදීද මේ ආකාරයෙන් රෝගී තත්ත්වයට බඳුන්වන පුද්ගලයාට ස්වකීය මනෝභාවයන් හේතුකොට ගෙන කේන්තිය ඇතිවීම දැකිය හැකිය. කෙසේ නමුත් කේන්තිය මනෝභාවයක් මිස ශාරීරික රෝගයක් කොට සැලකිය නොහැකි තත්ත්වයකි.තරහ ගැනීම නැතහොත් කේන්ති ගැනීම පුද්ගලයෙකුට වාසිදායක තත්ත්වයක් නොවේ. එය සැබැවින්ම පුද්ගල ජීවිතය අඳුරට ගෙන යන චිත්තවේගයකි.
කේන්තිය විවිධාකාරයෙන් මතු වුවත්, එය එම පුද්ගලයාගේ සාමාජීය ජීවිතයට අහිතකර ලෙස බලපානු ලබන ක්‍රියාවකි. කෙසේ නමුත් එක් එක් පුද්ගලයා තුළ තරහ ඇතිවන ආකාර කිහිපයක් හඳුනා ගැනීමට පුළුවන. මෙයින් ක්ෂණික කෝපය යනු අප බහුලවම අසා ඇති සහ දැක ඇති කෝපයයි. ක්ෂණික කෝපය යනු සිතාමතා සැලසුම්සහගත ලෙස ඇතිවන කෝප තත්ත්වයක් නොවේ. වහා වහා අනපේක්ෂිත ලෙස ඇතිවන කෝපය සහ ඒ කෝපයට අනුකූල වන ලෙස ඇතිවන ක්ෂණික ක්‍රියාමාර්ග අපි මේ වචනයෙන් හඳුන්වමු. ක්ෂණික කෝපය ඇති කරගන්නා අය ඉතා සුළු දෙයටත් තරහ ගැනීම ස්වභාවයයි. මෙවැන්නෝ ස්වභාවයෙන්ම කේන්ති ගන්නවුන් වන අතර, කේන්තිය වහා වර්ධනය වී අතේ තිබෙන දෙයින් තරහා ගත් අයට පහර දීම, බඩු මුට්ටු පොළවේ ගසා කඩා බිඳ දැමීම මොවුන්ගේ සිරිත විය හැකිය. ඔවුන් එසේ තම චිත්ත ආවේගය පිට කළ පසු කෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි. සමහරු මෙවන් කේන්ති කුකුල් කේන්ති ලෙස හඳුන්වන්නේ ඉක්මනින් ඇතිවී ඉක්මනින් එය නැති වී යන නිසාය. නමුත් බොහෝ විට ක්ෂණික කෝපය භයානක ප්‍රතිඵල ඇතිකර තිබිය හැකිය.
ලැජ්ජාව නිසා ඇතිවන තරහ බහුලව දැකිය හැකි තරහවල තවත් කාණ්ඩයකි.
මෙවැන්නන් තමන්ගේ වරදක් කිසිවෙකු පෙන්වා දෙනවාට කැමැති නැත. එසේ පොඩි වරදක් පෙන්වා දුන්නත්, මෙවැන්නන් එය තමාට සිදුකළ විශාල ලැජ්ජාවක් සේ සිතයි. එය තමාගේ ආත්ම ගෞරවයට විශාල කැළලක් ඇති කිරීමක් යැයි සිතන මොවුහු එය තමාට කළ මදිපුංචිකමක්, නොසැලකීමක් ලෙස සිතා තමන්ට එසේ කළ අය සමග පමණක් නොව එම තැනැත්තා සිටින තැන සිටි අය සහ ඔහුගේ හෝ පවුලේ අය වෙතද සිය තරහව මුදාහැර පළිගැනීමට සිතයි. සුළු කාරණා පවා හිතේ තද කරගෙන සිට පුපුරමින් අන් අය සමග නිරන්තර ගැටලු ඇති කරගන්නේද මෙවැනි කාණ්ඩයේ තරහවෙන් පෙළෙන්නන්ය. සැකය තවත් තරහවට බඳුන්වන අතුරු තත්ත්වයකි. එසේ සැකය පදනම් කරගෙන ඇතිවන තරඟ වඩාත් භයානක ප්‍රතිඵල ඇති කරයි.
තමන් විවාහක නම් තම සහකරු හෝ සහකාරිය වඩා රූමත් හෝ තමන්ට වඩා උගත් සහ සාමාජීය මට්ටමින් වැඩි පසුබිමක පසුවන්නන් නම්, ඒ හරහා සැකය පදනම් කරගත් තරහවක් කෙනෙකුට ඇතිවන්නට පුළුවන. එවැන්නෝ තම සහකරු හෝ සහකාරිය වෙනත් කෙනෙකු දෙස බැලුවත් ඒ හේතුව මත ඔවුන් වහා දෝෂ දර්ශනයට ලක්වන්නන් විය හැකිය. විශේෂයෙන් එම තත්ත්වයෙහි පසුවන කාන්තාවන් සිතන්නේ තම සිතේ පවතින සැකය සැබෑවක්ම ලෙසයි. මේ නිසා තම සහකරුවා කෙරෙහි ද්වේශයෙන් කටයුතු කරන්නට ඔවුන් පෙලඹෙන අතර, අනෙක් අය එය එසේ නොවේ යැයි කීම පවා නුරුස්සයි. මෙවැනි කාන්තාවෝ තනියම තම මානසික මට්ටම වරදවාගෙන ඒ කෝපය නිසා ආතතියට මෙන්ම ඒ හරහා පසුකාලීනව විශාදය පැත්තටද ගමන් කරන්නට පුළුවන. එමෙන්ම පුරුෂ පක්ෂය එවන් කාරණාවලින් ආතතියට පත්වූ විට එයින් මිදෙන්නට හැකි මග ලෙස මත්පැන් තෝරාගන්නට පුළුවන. මේ එකක්වත් ඒ ගැටලුවට සාර්ථක පිළියම් නොවේ.
බොහෝ විට අප කලින් කීවාක් මෙන් සැකය පදනම් තරහවක් පසුපස තමා වටා සිටින්නවුන් තමන්ට ආදරයක් නැතැයි ඔවුන්ගෙන් තමන්ට කිසිදු ආරාක්ෂාවක් නැතැයි සිතයි. ඔවුන් තුළ ඒ මානසික මට්ටම මුල්වූ අනාරක්ෂිත බවක් ද ඇතිවේ. මෙවැනි කාන්තාවන්ට තමා වටා සිටින සියලුදෙනාම සැකකටයුත්තන්ය. තමන්ට ඒ අනෙක් අය කුමන හෝ නරකක් කරාවිය යන බියෙන් ඔවුන් වඩාත් ආවේගශීලී අය වන්නටද පුළුවන. මේ නිසා තරඟව යනු මනස මුකොට ඇතිවන චිත්තවේගික තත්ත්වයක් වුවද, බොහෝ සාමාජීය ගැටලුවලට මුල් විය හැකි තත්ත්වයකි. තවත් සමහරු තමන්ට කෝපය මතුවුවත් එය සඟවාගෙන සිටින්නට බොහෝ උත්සාහ දරති. ඔවුන් තමන්ට කෝපයක් ඇති වුවත්, එය පිටතට පෙන්වන්නේ නැත. එනිසා ඔවුන්ගේ තරහව වෙනත් ආකාරවලින් මතු වනු ඇත. සමහර විට ඔවුන් ආහාර නොගෙන සිටීම, නින්ද නොයා සිටීම වැනි ක්‍රියාවලින්ද තමන්ගේ සිතට ඇති වූ තරහවේ නොරිස්සුම පෙන්වනු ඇතත්, අන් අයට ඒවා නොපෙන්වා සිටින්නට පුළුවන. ඔවුන් කිසිවෙකුට පැවරූ යම් කටයුත්තක් අමතකව ගොස් සිටියදී එයට දොස් නොපැවරුවත්, ඔවුන්ට ඒ සඳහා නොරුස්සනා බවකින් ප්‍රතිචාර දක්වන්නට පුළුවන.
සමහරුන් තරහ ඇතිවීමෙන් වැළකී සිටීමට උත්සාහ දරනු ඇත. මෙවැන්නෝ තරහ නොගෙන සිටිනා අතර, අනෙක් අය තරඟ ගෙන කටයුතු කරනවාටද කැමැති නැත. එහෙත් ඔවුන්ගේ සිත් තුළ කෝපය පවතියි. ඒවා පිටතට පෙන්වුවහොත්, කුමකින් කුමක් සිදුවේද යන බිය පදනම් කොටගෙන එවැන්නෝ කෝපය සිත තුළම මැඬපවත්වා ගන්නට උත්සාහ දරයි. කෝපය පිටට නොපෙන්වන නිසා ප්‍රශ්න ඇති නොවුණත්, එය සිත තුළ දරා සිටීම නිසා දැඩි පීඩනයකට ලක්වෙයි. මොවුන් තරඟ තොගන්නෝ යැයි ඒ අය වටා සිටින්නන්ට ඒත්තු ගන්වා සිටින නිසා කිසියම් අවස්ථාවක තදින් යමක් කියන්නට අවශ්‍ය වූ විට එය කියාගන්නට බැරිකම හේතුවෙන් හිසරදයට ලක්වීම, තාවකාලිකව ගොත ගැසීම වැනි තත්ත්වයන් තුළින් සිය පීඩනය මුදාහරින්නට පුළුවන. නමුත් එය ඔහුගේ කෝපය පිටකිරීමේ අවස්ථාවක් ලෙස නොදැනෙන්නට පුළුවන.
කෝපය යනු සෑම අයෙකුටම අඩු වැඩි වශයෙන් මතු විය හැකි සාමාන්‍ය චිත්තවේගයන් බව දැන් ඔබට වැටහෙනු ඇත. මේ සඳහා ඔබට මනෝ උපදේශනයට ලක්වීම තුළින් සහනයක් ලද හැකි වන්නේ තමන් තුළම මෙම තත්ත්වය පාලනය කිරීමට හුරු වීම තුළිනි. කෝපය පිළිබඳ අපි මෙසේ සිතමු. කෝපය යනු කිසිම ගැටලුවක් විසදිය හැකි සාර්ථක පිළියමක් නොවේ. එමෙන්ම කෝපය මෝඩකමින් පටන්ගෙන පසුතැවීමෙන් අවසන් වෙන අතර, ඔබ කෝපයට පත්ව ගෙවන හැම විනාඩියක්ම ඔබට සැහැල්ලුවෙන් හා සතුටින් ගෙවිය හැකි තප්පර හැටක කාලයක් අහිමි කරවයි. අප කෝපය පාලනය කරගත යුතු වන්නේ ඒ නිසයි.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ මනෝ උපදේශනවේදී
රත්නා පුෂ්පකුමාරි
සටහන - නාලිකා රාජපක්ෂ
0 Comments