ashu-marasinghe-cid

මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය බව පැවසෙන කරඳන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නමැත්තිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (03) සිතාසි නිකුත් කළේය. මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් ඉකුත් නොවැම්බර් මස 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව එම දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා පැමිණිලිකාර කරඳන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුමට අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කර තිබූ මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම, කරඳනගමරාලලාගේ වගීෂා ආදර්ශා නමැත්තිය වෙනුවෙන් නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා විසින් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබ  තිබිණි. තමන් ඉකුත් 2019 වර්ෂයේ ජූනි මාසයේදී අන්තර්ජාලයේ මුහුණු පොත මගින් මහාචාර්ය ආශු මාරසිංහ මහතා සමග සම්බන්ධතාවක් ආරම්භ කළ බවත් පසුව ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඔහු සමග එකට ජීවත් වූ බවත් අයැදුම්කාරිය සිය ඉල්ලීමෙන් දක්වා ඇත.

පසුව ඔහු ග්ලෝබල් ස්කිල්ස් ඇකඩමි නමින් ජපන් රටට පුහුණු ශ්‍රමිකයන් යැවීමේ ආයතනයක් ඉකුත් 2020 වර්ෂයේදී නාරාහේන්පිට ප්‍රදේශයේ දී ආරම්භ කළ බවත් එහි අධ්‍යක්ෂිකාව වශයෙන් තමන් සේවයට බැඳුණු බවත් අපේක්ෂිත ඇප අයැදුම්කාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. මාහාචාර්ය ආශු මාරසිංහ යන අය එම ආයතනය මගින් පුහුණු කටයුතු සඳහා එක් ශිෂ්‍යයකුගෙන් රුපියල් ලක්ෂ එකහමාරේ සිට රුපියල් ලක්ෂ 3 දක්වා මුදලක් ලබාගත් බවත්, පසුව විදෙස්ගත කිරීම සඳහා රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගත් බවත් ඇප අයැදුම්කාරිය සිය ඉල්ලීමෙන් දක්වා ඇත.



පසුව ඔහු ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන්ද කටයුතු කරමින් සිටි බවත්, ඔහු විවිධ අවස්ථාවල විවිධ රංගන ශිල්පිනියන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් කටයුතු කළ බවට තමන්ට තොරතුරු හෙළි වූ බවත් ඇප අයැදුම්කාරිය සිය ඉල්ලීමේ සඳහන් කර ඇත. ඔහු තමන්ට නොදන්වා තම නිවසේ සේවය කළ මෙහෙකාරිය ලවා සම්බාහනය කර ගත් බවට තමන්ට තොරතුරු අනාවරණය වූ බවත්, තමන් සුරතලයට ඇති කළ බැල්ල සමග අස්වාභාවික ක්‍රියාවක යෙදෙන අයුරු තමන් වීඩියෝ ගත කළ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙම ක්‍රියා හේතුවෙන් තමන් ඔහුගෙන් වෙන්වීමට තීරණය කළ බවත් පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවට මාධ්‍ය මගින් දැන ගත් බවත් සඳහන් කර ඇති ඇප අයැදුම්කාරිය එම පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් සඳහන් කර ඇත.


  නිමන්ති රණසිංහ