atm-theft-baddegama

බද්දේගම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒටීඑම් යන්ත්‍රයෙන් රුපියල් ලක්ෂ 57 ක මුදලක්ද, ගාල්ල කරාපිටිය රාජ්‍ය බැංකුවකින් රුපියල් 275,000 ක මුදලක්ද ව්‍යාජ ඒටීඑම් කාඩ් යොදාගනිමින් විදේශිකයන් දෙදෙනෙකු වංචනිකව ලබා ගෙන පසුගිය 30 වනදා පලාගොස් ඇතැයි බද්දේගම හා ගාල්ල පොලිසිය පවසයි. බද්දේගම රාජ්‍ය බැංකුවකට පැමිණ ඇති විදේශිකයන් දෙදෙනකු ඒටීඑම් යන්ත්‍රයෙන් මුදල් ලබාගන්නා අයුරු එහි සවි කර ඇති සීසීටීවී කැමරාවේ රූප රාමු පරීක්ෂාකර බැලීමේදී දක්නට ලැබී ඒ ගැන බැංකු කළමනාකරු විසින් බද්දේගම පොලීසියට පැමිණිලි කර ඇත.



මෙම බැංකුවේ ඇති ඒටීඑම් යන්ත්‍රයෙන් රුපියල් 5000 නෝට්ටු 1140 යන්ත්‍රයට කිසිදු හානියක් නොකර ව්‍යාජ ඒටීඑම් කාඩ් පතක් යොදාගෙන රැගෙන ගොස් ඇති බව බද්දේගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. හික්කඩුව හා කරාපිටිය යන ප්‍රදේශවල පිහිටි එම රාජ්‍ය බැංකු ශාඛා දෙකකින් ද මෙවැනි ආකාරයට විදේශිකයන් දෙදෙනෙකු විසින් මුදල් ලබා ගෙන ඇති බවට දැන ගැනීමට ලැබීමෙන් පසු බද්දේගම බැංකු ශාඛාවේ කළමනාකාරවරයා ඔහු සේවය කරන බැංකු ශාඛාවේ ඒටීඑම් යන්ත්‍රයද පරීක්ෂා කර බැලීමේදී මෙම මුදල රැගෙන ගොස් ඇති බව පෙනී ගිය නිසා ඒ ගැන  පොලිසියට පැමිණිලි කර ඇත.

බැංකුවේ පරිගණක දත්ත පද්ධතියේ මුදල් ඇති බව පෙන්නුම් කරනු ලැබුවත් ඒටීඑම් යන්ත්‍රය තුළ මුදල් නොමැති බව එම කළමනාකාරවරයා පොලිසියට දැනුම් දී ඇත. මේ අතර ඊයේ දිනය තුළ ගාල්ල කරාපිටිය රාජ්‍ය බැංකු ශාඛාවේ පිහිටි ඒටීඑම් යන්ත්‍රයෙන් ද විදේශිකයන් දෙදෙනකු ව්‍යාජ කාඩ් පතක් යොදාගෙන රුපියල් 275000 ක මුදලක් රැගෙන පලාගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. එම බැංකු ශාඛාවේ කළමනාකාරවරයා මේ බව පොලිසියට පැමිණිලි කර තිබේ.මෙම විදේශිකයන් දෙදෙනා ඒටීඑම් යන්ත්‍ර කුටියේ සවි කර ඇති සීසීටීවී කැමරාව කළු පැහැති කවරයක් යොදා ආවරණය කර මෙම ක්‍රියාව සිදුකර ඇතැයිද පොලිසිය පවසයි.



දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ මෙහෙයුම යටතේ බද්දේගම සහ ගාල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරීහු කණ්ඩායම් දෙකක් පලාගිය විදේශීය ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පුළුල් පුළුල් පරීක්ෂණ පවත්වයි. කරාපිටිය රාජ්‍ය බැංකුවෙන් මුදල් වංචනික ලෙස ලබා ලබාගැනීමට විදේශිකයන් දෙදෙනා පැමිණ ඇත්තේ කළු පැහැති මෝටර් රථයකින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය