underworld-gangster-kanjipani-imran-sneaks-into-tamil-nadu

කුප්‍රකට පාතාල කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි ඉම්රාන්‘අධිකරණයෙන් ඇප මත මුදාහැර දින කිහිපයකට පසු ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයට පැනගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.දෙසැම්බර් 25 වන දින රාමනාතපුරම් දිස්ත්‍රික් වෙරළ තීරයට මුහුදු යාත්‍රාවකින් පැමිණ ඔහු සගයෙකු සමග ගොඩ බැස්ස බවට සාක්ෂි ඉන්දීය පොලිසිය සතු බව ‘ද හින්දු‘ පුවත් වාර්තාවක දැක්වේ.


මොහුගේ පළායාම සැලවීමෙන් පසු  වෙරළබඩ දිස්ත්‍රික්කවල සෝදිසියෙන් සිටින ලෙසත්,  ඔහු සහ ඔහුගේ සගයා ගැන සොයා බලන ලෙසත් තමිල්නාඩු බුද්ධි අංශ ප්‍රාන්තය පුරා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අනතුරු ඇඟවීමක් කර ඇත.
මිනීමැරුම් සහ සාපරාධී බිය ගැන්වීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට අවශ්‍යව සිටි ඉම්රාන් 2019 දී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන ලදී.
පසුව ශ්‍රී ලංකාවේදී ඔහු රඳවාගනු ලැබූ අතර රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ප්‍රාදේශීය අධිකරණයක් ඔහුට ඇප ලබාදෙන තෙක් ඔහු අධිකරණ භාරයේ සිටියේය.
දෙසැම්බර් 20 ඇප මත මුදා හැරීමෙන් දින 5 කට පසු ඉම්රාන් ඉන්දියාවට ඇතුළු වීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය මධ්‍යම බුද්ධි අංශවලින් සහ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශයට නිශ්චිත තොරතුරු ලැබී තිබුණි. ඔහු වෙස් වළාගෙන අධිකරණයෙන් පිටව ගොස් තලෙයිමන්නාරමට ගොස් ඇති අතර එහිදී ඔහුගේ සගයන් ඉන්දියාවට රිංගා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කළේය.



“ඉම්රාන්“ යනු ඇෆ්ගනිස්ථානයෙන් සහ පකිස්ථානයෙන් පිටවන හෙරොයින් සහ කොකේන් සැපයුම්කරුවන් සමඟ දැඩි සම්බන්ධතා ඇති මත්ද්‍රව්‍ය නායකයෙකි. ඔහුට ශ්‍රී ලංකාවේ නඩු කිහිපයක් තිබේ. ඉම්රාන් ඩුබායි හි උපන්දින උත්සවයකට සහභාගී වන බවට ලැබුණු තොරතුරක් මත, විශේෂ කණ්ඩායමක් 2019 දී ඔහුව එහිදී අත්අඩංගුවට ගත් අතර ඔහුගේ කල්ලිය සමුද්‍ර සීමාවන් හරහා මත්ද්‍රව්‍ය ජාවාරමට සක්‍රීයව සම්බන්ධ බව හෙළිව තිබේ.

ඔහු පකිස්ථානයේ හාජි සලීම් සහ වෙරළාසන්න විජිංජාම් ​​මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමේ ප්‍රධාන සැකකරු වන ගුණසේකරන් හෙවත් ගන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට විමර්ශකයින් විශ්වාස කරන බැවින් ඉම්රාන් සහ ඔහුගේ සගයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවද එරට බුද්ධිඅංශ විසින් සොයා බලන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය .
 ‘කංජිපානි ඉම්රාන්’ තමිල්නාඩුවට ඇතුළුවීම එරට බුද්ධි අංශ කලබලයට පත් කර ඇත්තේ අපරාධ චෝදනාවලට ලක්ව සිටින විදේශීය ජාතිකයන් රඳවා සිටින තිරුචි හි විශේෂ කඳවුරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් ජාතික විමර්ශන ඒජන්සිය විසින් හෙළිදරව් කර ඇති පසුබිමක ඔහු ඊට සම්බන්ධ බවට සාක්ෂි ලැබීම මතය.