Maho-Omanthai-line-renovations-begin-under-Indian-credit-line

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උතුරු දුම්රිය මාර්ගයේ මහෝ-ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (8) ආරම්භ විය.



මෙම ව්‍යාපෘතිය ඉන්දියානු රජයට අයත් IRCON International යටතේ සිදුවන රු. බිලියන 33 ක ණය ආධාර මත ඉදිවේ.‍
දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසු කොළඹ සහ යාපනය අතර ගමන් කිරීමට යන ගමන පැයකින් අඩු කළ හැකි අතර කොළඹ සහ යාපනය අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා පහසුකමද වැඩිදියුණුවේ.



ප්‍රතිසංස්කරණය සම්පූර්ණ කිරීමට අවම වශයෙන් මාස පහක් ගතවනු ඇතැයි ගණන් බලා ඇති අතර මෙම කාලය තුළ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර - වවුනියාව මාර්ගයේ දුම්රිය ධාවනය සිදු නොවේ. ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා පමණක් ගමන් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මගීන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මෙන්ම පෞද්ගලික බස් රථ සමඟ මගී ප්‍රවාහනය සඳහා දැනටමත් කටයුතු යොදා ඇත.