හෝමාගම පශු වෛද්‍ය කාර්යාලයට අයත් නිල නිවාසයේ වාසය කරමින් සිටියදී මියගිය එම කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියකගේ නැන්දණියගේ මරණය සැක සහිත බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වීමත් සමග ඉදිරි විමර්ශන මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හරහා සිදු කිරීමට පෙරේදා (11) පියවර ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ කිරිවාන පිටියලාගේ සෙලෙස්තිනා නමැති (76) හැවිරිදි තිදරු මවක බව පොලිසිය කියයි.
මෙම කාන්තාව බාල පුතාගේ බිරිය සේවය කරන හෝමාගම පශු වෛද්‍ය කාර්යාලයේ නිල නිවාසයට පැමිණ මාස තුනක පමණ සිට ලේලිය, ඇයගේ පියා සහ දරු දෙදෙනා සමග වාසය කර ඇතැයි පොලිසිය කියයි.ඇයගේ බාල පුතා නිරන්තරයෙන්ම නිවසේ නොමැති හෙයින් නිල නිවසේ කාමරයක තබා ඇයට සත්කාර කර තිබුණේ ලේලිය සහ කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ. මේ අතරතුරදී ඇය රැඳී සිටි කාමරය තුළ දී මියගොස් තිබූ අතර පසුව ඒ බව පොලීසිය දැනුවත් කොට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතාගේ නියෝගය මත මෘත දේහය හෝමාගම මූලික රෝහලේ මෘත ශරීගාරයට රැගෙන එන ලදී.
එහිදී මෘත දේහය පිළිබද හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් ආරම්භ කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය රෙජිස්ටාර් වෛද්‍ය ජේ.එස්.ඩී. පීරිස් මහතා වෙත යොමු කරන ලදී.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මියගිය කාන්තාවගේ ගෙලෙහි ස්ථාන කිහිපයක සැක කටයුතු තුවාල කිහිපයක් ඇති බවයි. ඒ අනුව එහි කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කොට මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදීමට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී පියවර ගෙන තිබුණි. ඒ අනුව නුගේගොඩකොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් සහ මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබුණි.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
0 Comments