chathuri-hansika-death

“මම හීන මැව්වේ මගේ මැණික මනමාලියක් විදිහට පෙට්ටියක මෙහෙම ඉන්නවා දකින්න නෙමේ. ගමටම මඟුල් කියල යාළුවෝ හැමෝටම එන්න කියල ලස්සන මනමාලියක් විදිහට එයාගෙ මහත්තයට භාර දීලා ගෙදරින් යනවා දකින්නයි” යැයි කොළඹ තුරඟ තරග පිටියේ දී ඝාතනයට ලක් වූ චතුරි හංසිකා මල්ලිකාරච්චි (24) ශිෂ්‍යාවගේ මව වන සේනානි මල්ලිකාරච්චි මහත්මිය සිය දියණියගේ නිසල දේහය දෙස බලමින් විලාප දුන්නේ කිරිවත්තුඩුව පුබුදු උයන ගමම හඬවමිනි.  



කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටිය දී පෙම් සබඳතාවයක් හේතුවෙන් පෙම්වතාගේ පිහි පහරට ලක්ව ඝාතනයට ලක් වූ චතුරි හංසිකා මල්ලිකාරච්චි ( 24 ) ශිෂ්‍යාවගේ දේහය ඇය පදිංචිව සිටි හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන නිවසට පෙරේදා (18) දින රැගෙන ආවේය.  ඝාතනයට ලක් වූ චතුරි හංසිකා දියණිය පළමු වසරේ සිට පහ වසර දක්වා මහරගම විද්‍යාකර විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර එම විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත්ව උසස් අධ්‍යාපනය සඳහා නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කාන්තා පාසලක ඉගෙනුම ලැබ උසස් පෙළ විශිෂ්ට අයුරින් සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයට වරම් ලබා තිබුණි. යුද හමුදා විශ්‍රාමිකයන් වන කුමාර මල්ලිකාරච්චි සහ සේනානි මල්ලිකාරච්චි මව්පියන් දෙදෙනාගේ වැඩිමහල් දියණිය වූ චතුරි හංසිකාට නැගණියක් ද සිටියි.

ඝාතනයට ලක් වූ ඇය පදිංචිව සිටි නිවසට අප යන විටත් ඇයගේ සහෝදර විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් නිවස පිරී තිබුණ අතර හිත මිතුරු මිතුරියන්ගේ ශෝකාකූල මුහුණු කාගේත් සිතට ගෙන ආවේ වේදනාවකි. එම අවස්ථාවේ දී සේනානි මල්ලිකාරච්චි තම දියණියගේ දේහය දෙස බලමින් විලාප දෙමින් මෙසේ ද කියමින් හැඬුවාය.

“මගේ මැණික කැම්පස් යැව්වේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනයි.

මගේ මැණිකට මෙහෙම දෙයක් වෙයි කියල හීනෙන්වත් හිතුවේ නෑ. මේ අහිංසක මුහුණ බලාගෙන මෙහෙම දෙයක් කළේ කොහොමද දෙවියනේ. මගේ දරුවා කැම්පස් යැව්වේ මෙහෙම ඉරණමක් අත් වෙන්නද? ඔයාගේ නංගිට දැන් මොනාද කියන්නේ මගෙ දුවේ. මගෙ රත්තරං පුතේ මම කොහොමද ඔය මුහුණ බලන්නේ. අනේ දුවේ ඔයාගෙ යාළුවො ඇවිල්ල ඔයාව බලන්න. නැගිටලා බලන්නකෝ. ඇයි මගෙ පුතේ ඔහොම ඉන්නේ. මට හිටපු මැණික් දෙකෙන් එකක් තමයි මේ නැති වුණේ" කියමින් කඳුළු සලමින් විලාප දුන්නේ පැමිණ සිටි කාගෙත් දෙනෙතට කඳුළක් එකතු කරමිනි.

ඇයගේ විශ්ව විද්‍යාල මිතුරු මිතුරියන් චතුරිගේ දේහය දෙස බලා සිටියේ පෙරදා ළඟින් සිට පාඩම් කටයුතු කළ තම යෙහෙළියට මේ සිදු වූ දේ සිතා ගැනීමටවත් නොහැකිව. ඔවුන් සෑම දෙනාම එකිනොගේ මුහුණු දෙස බලමින් හඬන ආකාරය කාගේත් හදවත් කම්පා කරවන දසුනක් විය. මනාලියක් ලෙස හැඩ වී පෙට්ටියක් තුළ උඩුකුරුව නිසලව නිදන තම දියණියගේ දේහය බලමින් සුසුම් හෙළමින් හදෙහි නැගෙන ශෝකය දරා ගත නොහැකිව ඇයගේ පියා සිටින ආකාරය ද නිවසට පැමිණ සිටි පිරිසගේ ඇසට කඳුළක් එක් කළ දසුනක් විය.

 ප්‍රියන්ත ජයලත්