cut-ishara-incident

කඩවත ප්‍රදේශයේ තරුණයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහර දී මුඛයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධියක් සම්බන්ධ සැකකරුවකු කොලොන්නාව, නාගහමුල්ල ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.සැකකරු “කට් ඉෂාර" නමින් හදුන්වන තිස්එක් හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු සතුව තිබූ මෝටර් රථයක්, අයිස් මත්ද්‍රව්‍ය, කඩුවක්, මන්නා පිහියක් හා ජංගම දුරකතනයක් ද අත්අඩංගුවට ගත් බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මාදින්නාගොඩ කෝසල නමැත්තාට මුල්ලේරියාවේ ඔහුගේ අනියම් බිරියගේ නිවසේ දී කිසියම් පිරිසක් ඉකුත් 7 වැනිදා පිහියෙන් ඇන තුවාල සිදුකර ඇති අතර, එම සිද්ධියට පැමිණි පුද්ගලයකුගේ ඡායාරූපයක් ඔහු සන්තකයේ තිබී ‘කට් ඉෂාර’ නමැත්තාට පෙන්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.එම ඡායාරූපය පෙන්වීමෙන් පසුව ඔහු එය ඔහුගේ මිතුරකු වන අංජු නමැත්තකුගේ රුවට සමාන බවට කට් ඉෂාර නමැත්තාට දැනුම් දීමෙන් පසුව කෝසල නමැත්තා ඔහු තමා හමුවට රැගෙන එන ලෙසට කට් ඉෂාරට දැනුම් දී ඇත.



කෝසල නමැත්තාගේ දැනුම් දීම අනුව කට් ඉෂාර තවත් පුද්ගලයකු සමග ඉකුත් 23 වැනිදා රාත්‍රියේ  ඔහුගේ මෝටර් රථයෙන්ම කඩවතට ගොස් අයිස් පානය කිරීමට යැයි පවසා ඔහුගේ මිතුරා වන කඩවත අංජු නමැති තරුණයා මෝටර්  රථයකට නංවාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. කට් ඉෂාර නමැත්තා සමග එම මෝටර් රථයෙන් ගමන් ගත් තවත් සැකකරුවකු අංජු නමැත්තාගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කර, ඔහු කෝසල නමැත්තාගේ නිවසට රැගෙන ගොස් ඔහුට බාර දී ඇති බවද පොලිස් ආරංචිමාර්ග කියයි.

තමා එම පිහි අනුමට සම්බන්ධ නොමැති බවට කියමින් අංජු නමැත්තා කොතරම් හඬා වැටුණ ද කෝසල නමැත්තා සහ ඔහුගේ ගෝලයන් ඒ බව නොතකා තියුණු ආයුධවලින් හා හොකී පිති වලින් අංජු නමැත්තාට පහර දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පහර දී බරපතළ තුවාල සිදු කිරීමෙන් පසුව කෝසල නමැත්තාගේ දැනුම් දීම මත ඔහුගේ ගෝලයන් අංජු මෝටර් රථයේ දමාගෙන රැගෙන ගොස් පාළු ප්‍රදේශයක දී මුඛයට වෙඩිතබා කඩුවෙල චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දමා ගොස් සිටියදී පොලිසිය විසින් සොයාගනු ලැබ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.අංජු නමැති පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

සැකකරුවන් ඝාතනය කිරීමට තැත්කළ අංජු නමැති තරුණයා පිහිඇනුම් සිද්ධියට සම්බන්ධ නොමැති පුද්ගලයකු හෙළි වී ඇති බවත්, පිහි ඇනුම සිදුකළ සැකකරුගේ හැඩරුව සමාන හෙයින් එයට සැකකරුවන් අංජු නැමැති අය නිකරුණේ ඝාතනය කිරීමට තැත්කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කෝසල නමැත්තා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.



සිද්ධියට ආධාර අනුබල දීම  සම්බන්ධයෙන් පොලිසිය මගහරිමින් සිටි කට් ඉෂාර නමැති මෙම සැකකරු සම්බන්ධයෙක් විශේෂ කාර්යාංශය ලබාදුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය විමර්ශන පවත්වා කට් ඉෂර නමැත්තා කොලොන්නාව නාගහමුල්ල වත්තට හැරෙන හන්දියේ දී ඉකුත්දා (30) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරී :(බුද්ධි/ මත්ද්‍රව්‍ය නාශක/ සංවිධානාත්මක අපරාධ) සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් බුද්ධි කොට්ඨාසයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ. ධනුෂ් රණසිංහ මහතා ප්‍රධාන කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කඩුවෙල පොලිසියට බාර දී ඇත.



ඉන්දිකා රාමනායක