dambulla-incident

 පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් වෙනත් ආගමකට හරවාගෙන විවාහවීම සඳහා සූදානම්ව සිටි බව කියන පුද්ගලයකු හා ඔවුන්ට නවාතැන් දුන් පුද්ගලයකු පෙරේදා (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු ගලේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පාසල් දැරිය පැහැරගෙන ගොස් තම මාමා කෙනෙකුගේ නිවසේ රඳවාගෙන සිටින බවටත්, ඇය නිකවටවන ප්‍රදේශයේ දේවස්ථානයකට රැගෙන ගොස් මුස්ලිම් ආගමට බඳවාගෙන එම ආගමික චාරිත්‍ර අනුව විවාහකරදීමට සූදානමින් සිටින බවටත් එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.කේ. ඇල්ලේපොල මහතාට කළ දැනුම්දීමක් අනුව ඔවුන් මෙලෙස ගෙන ඇත.



මුස්ලිම් හා සිංහල ජනතාව ඉතා සහයෝගයෙන් ජීවත්වන නිකවට වන ගමේ මෙවැනි සිද්ධියක් වුවහොත් දෙපිරිස අතර මහා විනාශයක් විය හැකි නිසා එය වළක්වා දෙන ලෙස එම ප්‍රදේශවාසීන් ඉල්ලා සිටි බව පොලිසිය කියයි.  ඒ අනුව දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් මෙම දෙදෙනා සහ 15 හැවිරිදි දැරිය පොලිස් භාරයට ගත් බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. කේ. ඇල්ලේපොල මහතා පැවසීය.  මෙම පාසල් සිසුවිය මීට මාස දෙකකට පමණ ඉහත දී දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිය මිත්තණියගේ සාත්තුව සඳහා රෝහලේ රැඳී සිටිය දී මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන ඇතැයි සිදුකරන ලද මූලික පරීක්ෂණවල දී හෙළිවී ඇත.

ඇය බාලවයස්කාරියක වූ නිසා විවාහවීමට ඇති නීතිමය බාධා ඉවත් කිරීමට මුස්ලිම් නීතිය යටතේ විවාහ කරවීම සඳහා තරුණයාගේ මාමා උත්සාහ කර ඇතත් එම මවුලවිවරුන් එය ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් වේ. ඉන්පසු එම සිසුවිය මාතලේ ප්‍රදේශයේ වෙනත් මවුලවිවරයකු වෙත කැඳවාගෙන ගොස් මුස්ලිම් ආගමට බඳවාගෙන විවාහකර දීමට සූදානම් කර සිටි බවට ද තොරතුරු හෙළි වූ බව පොලීසිය කියයි. දැරිය ආගමට බඳවා ගැනීමේ ප්‍රීතිය සැමරීමට ඇයගේ මව, පියා මෙන්ම තරුණයාගේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව විවාහ උත්සවයට පෙර නිකවටවන ප්‍රදේශයේ නිවසක සාදයක් පැවැත්වූ බවත් තමන් එම නිවසේ දී තරුණයා සමග තනි වූ බවත් දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.



දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි නිලුකා ගයන්ති මහත්මිය මෙම දැරියගෙන් ප්‍රශ්න කිරීමේ දී ඇය මීට පෙර ගලේවෙල ප්‍රදේශයේ තරුණයකු අතින් අතවරයට ලක්ව ඔහුට විරුද්ධව ගලේවෙල පොලිසියේ පැමිණිල්ලක් සහ දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද පවතින බවත්, නිකවටවන ප්‍රදේශයේ තරුණයා සමග ද මාස දෙකක් පමණ සබඳකම් පවත්වා දෙමවුපියන්ගේ දැනුවත්කම මත මෙසේ වෙනත් ආගමකට බැඳී විවාහවීමට සූදානමින් සිටි බවත් හෙළි වී තිබේ.

මෙම බාලවයස්කාර දැරිය පැහැරගෙන ගොස් සඟවා තබා ගැනීමට අනුබලදීම, වෙනත් ආගමකට බඳවාගෙන එම ආගම අනුව විවාහකරදීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඇය අතවරයට ලක්කළ අය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා සියලුදෙනා අත්අඩංගුවට ගන්නා බව ද දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කීවේය. දැරිය මේ වනවිට සිය මව භාරයේ දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ මාමා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (30) ඉදිරිපත්කිරීමට නියමිතව සිටියහ.
කංචන කුමාර ආරියදාස