බාලවයස්කරුවන්ව සිටියදී කරන ලද වැරදි හේතුවෙන් මරණ දඬුවම ලැබ මේ වනවිටත් බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව මත නිදහස ලබාදෙන්නැයි නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත.පසුගිය කාලයේ හිටපු ඇතැම් ජනාධිපතිවරුන් සමාව ලබාදීමට ඇති ජනාධිපති බලය අයුතු ලෙස ක්රියාවේ යෙදූ අවස්ථා ඇතැයි සිය ලිපියෙන් පෙන්වා දෙන නීතිඥවරයා අභියාචනාධිකරණ නඩු තීන්දුවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් අධිකරණ නඩු තීන්දුවකට අනුව ජනාධිපති බලය ක්රියාවේ යෙදවීම සිරකරුවන්ගේ සැබෑ සුභසිද්ධිය වෙනුවෙන් පරමාදර්ශී ලෙස ක්රියාවේ යෙදවූ අවස්ථාවක් වශයෙන් හඳුන්වා දී ඇත.
අභියාචනාධිකරණය විසින් පසුගිය ඔක්තෝබර් මාසසේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයකට අනුව අපරාධය කරන අවස්ථාව වනවිට වයස 16 නොඉක්මවන ළමයින්ට මරණ දඬුවම පැනවීමක් නොකරන අතරම, එවැනි අයෙකු කළ වරදක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරන විට වයස අවුරුදු 18 පසු වී ඇතත් ඔවුන්ටද මරණ දඬුවම පැනවීම වළක්වා ඇතැයි යන සඳහන පිළිබඳ අවධානය යොමු කරවමින් අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, එම අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මියට පිටපත් සහිතව නීතිඥ දර්ශන කුරුප්පු මහතා විසින් ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමු කොට ඇත.
අභියාචනාධිකරණයේ එම තීන්දුව අනාගතයට බලපාන නමුත් එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙරම බාලවයස්කරුවන්ව සිටියදී සිදුකළ අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින බොහෝ පිරිසක් ලංකාවේ විවිධ බන්ධනාගාරවල රඳවා ඇතැයි අවධාරණය කරන නීතිඥවරයා අධිකරණ තීන්දුවේ සහනය ඔවුන්ට නොලැබෙන බවද අවධාරණය කොට ඇත.
සිරකරුවන්ට සමාව ලබාදීම සඳහා ජනාධිපතිවරයාට ලබා දී ඇති බලය හිටපු ජනාධිපතිවරුන් විසින් අත්තනෝමතිකව පාවිච්චි කොට ඇතැයිද, ජනාධිපති සමාව නොලැබිය යුතු ධනය සහ බලය ඇති ඇතැම් පුද්ගලයන් බරපතළ අපරාධ කොට අධිකරණ විසින් නියම කරන ලද දඬුවමින් ගැලවීම සඳහා ජනාධිපතිවරයාට ලබා දී ඇති බලය අත්තනෝමතික ආකාරයෙන් පාවිච්චි කළ බවටද, සමාජයේ ආන්දෝලනයන් ඇති කළ අවස්ථා ඇති බවද අවධාරණය කොට ඇත.
බුද්ධිමාල් රුබේරු
0 Comments