dengue-kids
ඩෙංගු වැළඳුණු දරුවන් 40 දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බව එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා  පැවැසීය. මින් අට දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද ඔහු සඳහන් කළේය. ඩෙංගු වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා

රෝහලට මීට සතියකට පමණ පෙර ඇතුළත් කරනු ලැබ සිටියේ දරුවන් විසි දෙනකු පමණක් බව ද ප්‍රකාශ කළේය. සමහර මවුපියන් ඩෙංගු වැළඳුණු දරුවන් රෝහල් ගත කරන්නේ ඉතාම අමාරු අවස්ථාවට පැමිණි පසුව බවත් එසේ කටයුතු කිරීම ඉතාමත් අවදානම් බවත් දීපාල් පෙරේරා මහතා පැවසුවේය.


දරුවන් තුළ සැක සහිත ඩෙංගු රෝග ලක්ෂණ මතු වූ වහාම රෝහල්වල බාහිර රෝගී අංශයට හෝ යොමුකර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය. කොවිඩ් දරුවන් සම්බන්ධයෙන් අප කළ විමසුමක දී විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ කොවිඩ් රෝගී එකම දරුවකු හෝ රෝහලේ නොසිටින බවයි. දරුවන් අතරේ ඇස් රෝගයක් පසුගිය දිනවල පැතිර තිබූ බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා එම රෝගයේ පැතිරීම දැන් තරමක් අඩුවී ඇති බව ද ප්‍රකාශ කළේය.

- සුජිත් හේවාජුලිගේ-