පොලිස්පති පුටුවට තරග කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ තමාට විරුද්ධව තිබෙන චෝදනා ඉවත් කර දෙන ලෙස බැගෑපත් වීම එහි නිලධාරීන්ට හිසරදයක් වී ඇතැයි නීතිපති දෙපාර්තමෙන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.



සතියකට කිහිපවරක් පැමිණෙන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිකරුවන්ටද ආචාර කරන බව පැවසේ. අවස්ථා කිහිපයකදී නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මෙම පොලිස් නිලධාරියාට බැණවැදී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මොහුට විරුද්ධව චෝදනා රැසක් ඇති හෙයින් එම නිලධාරියා නීතිපති නිලධාරින් හමුවේ වැඳ වැටෙන බවද එහි නිලධාරීහු වැඩිදුරටත් පවසති. ලබන මාර්තු මාසයේදී පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විශ්‍රාම යාමත් සමග එම තනතුර ලබාගැනීම සඳහා මෙම චෝදනාවට ලක්වන නිලධාරියා දැඩි උත්සාහයකද නිරතව සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට මෙම පොලිස් නිලධාරියා නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණෙන විට එහි නිලධාරීන් සිය කාර්යාල තුළ සැඟවී සිටින බවද එතරම්ම මෙම නිලධාරියා ඔවුනට වදයක් වී ඇති බවද පැවසේ.

හේමන්ත ලියනපතිරණ