dubai-threat-call

ඩුබායි රටට පලාගොස් සැඟව සිටින පාතාල නායකයෙකු ලෙස සැලකෙන පුද්ගලයකු විසින් කටුනායක ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතකුට දුරකථනයෙන් කතා කර රුපියල් ලක්ෂ 500ක කප්පම් මුදලක් ඉල්ලා මරණීය තර්ජනය කර ඇතැයි කටුනායක පොලීසිය පවසයි. ලක්ෂ 500ක් කප්පම් මුදල ලබා නොදුන්නොත් තමාගේ ගෝලයන් දෙදෙනෙකු යොදවා නුදුරු දිනකදීම පියා ඝාතනය කරන බවට වැඩිදුරටත් ධනවත් ව්‍යාපාරිකයාගේ පුතා සමග පවසා පාතාලයා තර්ජනය කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.මෙම ධනවත් ව්‍යාපාරිකයා කටුනායක ප්‍රදේශයේ තොග වෙළෙඳසලක් පවත්වාගෙන යන අයෙකි.



නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් මොහුගේ ව්‍යාපාරික ස්ථානයට පෙරේදා 9 වෙනි දා රාත්‍රී 8 පමණ පැමිණ ඇතැයි පොලීසිය පැවසී ය.යතුරු පැදියේ පසුපස අසුනේ වාඩි වී ආ පුද්ගලයා අත තිබූ ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකට සමාන අවියක් අතැතිව යතුරු පැදියෙන් බැසීමට ගිය අවස්ථාවේ එම අවියට සවිකර තිබූ උණ්ඩ සහිත මැගසිනය අවියෙන් ගැලවී බිමට පතිත වී ඇතැයි ද පොලිසිය කීය.බිම පතිත වූ එම උණ්ඩ සහිත මැගසිනය අහුලාගත් එම පුද්ගලයා ඔහුගේ සගයා ද සමග ඔවුන් පැමිණි යතුරුපැදියේ නැගී අධික වේගයකින් පලාගොස් ඇත. මෙම තොරතුරු ව්‍යාපාරිකයා හෙළි කළේ යැයි පොලීසිය සඳහන් කළේය. යතුරු පැදියෙන් නාඳුනන පුද්ගලයන් දෙදෙනා පළා ගොස් ටික වේලාවකට පසු ඩුබායි රටට පලාගොස් සැඟව සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන හීනටියන මහේෂ් නැමැත්තා ධනවත් ව්‍යාපාරිකයාගේ පුතාට දුරකතනයෙන් කතා කර ඇතැයි පොලිසිය කීය.



අදට තාත්තා බේරුණා කියා හිතා ගනින් තාත්තාගේ ජීවිතය බේරාගන්න ලක්ෂ පන්සීයක් ගෙවන්න ඕනෑ. නැත්තං උඹේ තාත්තා මරා දමනවා, යැයි කියා ඩුබායි සිට කතා කළ පාතාලයා තර්ජනය කර ඇතැයි ද පොලීසිය පැවසී ය. ධනවත් ව්‍යාපාරිකයා මේ බව ද පොලිසියට පැමිණිලි කර තිබේ.නාඳුනන පුද්ගලයන් දෙදෙනා පෙරේදා රාත්‍රියේ පැමිණ ඇත්තේ ව්‍යාපාරිකයාගෙන් කප්පම් මුදල් ඉල්ලා එය ලබා නොදුනහොත් ඔහු ඝාතනය කිරීමට විය හැකි බවට පොලිසිය සැක කරයි. කිසියම් හේතුවක් නිසා ගිනි අවියේ උණ්ඩ සහිත මැගසිනය අවියෙන් ගැලවී බිම පතිත වීම නිසා ඔවුන්ගේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව පළා යන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය