2023 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අවසන් වූ සැණින් පළාත් පාලන මැතිවරණ පනතේ විධිවිධාන අනුව මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (18දා) දැනුම් දුන්නේය. රට ආර්ථික අර්බුදයක ගිලී ඇති මෙවන් මොහොතක
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නුසුදුසු බව සඳහන් කරමින් මැතිවරණය පැවැත්වීම වළකාලන අතුරු ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික හමුදා කර්නල්වරයෙකු වනඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඒ බව දැනුම් දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීතී පද්මන් සූරසේන සහ එස්. තුරෛරාජා මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලිණී. විශ්‍රාමික හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්.ආර්. විජේසුන්දර මහතා ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම, නීතීපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
ඊට අමතරව පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා මහාචාර් ජී.ඇල්. පීරිස්, සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන්ද මැතිවරණ කොමිසම, නීතීපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්වල පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා කරුණු ඉදිරිපත් කරමින් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරිමට කෙටි දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
මැතිවරණ කොමිසම වෙනුවෙන් ජනාධිපති පෙනී සිටි නීතීඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති බවට භාණ්ඩාගාර ලේකම්වරයා කිසිදු දැනුම් දීමක් කර නොමැති බව දන්වා සිටියේය. නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ නෙර්න් පුල්ලේ මහතා කරුණු ඉදිරිපත් කරමින් භාණ්ඩාගාර ලෙම්වරයා ඉදිරිපත් කළ දිවුරුම පෙත්සම ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන හෙයින් ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණය පැවැත්වීම වළකාලන අතුරු ආඥාවක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන පෙබරවාරි මස 10වැනිදා යළි කැඳවීමටද පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන පෙබරවාරි 14වැනිදා කැඳවීමටද නියම කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, සංජීව ජයවර්ධන සහ ෆායිස් මුස්තාපා පෙනී සිටි අතර, මැතිවරණ කොමිසම වෙනුවෙන් ජනාධිපති නීනීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.
බුද්ධිමාල් රුබේරු
0 Comments