electricity-bill-issue

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබුණද ඒ සඳහා නියමිත කටයුතු කිර්මට දින 45ක පමණ කාලයක් ගතවන බවත් එමෙන්ම අතීතයට බලපාන ලෙස විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

පිරිවැය ගණනය කරමින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස විදුලිබල මණ්ඩලය විසින් යෝජනාවක් කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබෙන බවත්, මේ අනුව අදාළ යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීමක් සිදුකරන අතර, අදාළ කටයුතු සඳහා දින 45ක් පමණ කාලයක් ගත වන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.කැබිනට් මණ්ඩල යෝජනාවට අනුව විදුලි ගාස්තු සංශෝධනය අන්තර් කාලීන පියවරක් වශයෙන් මේ වසරේ ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා තිබෙන බවත්, එහෙත් විදුලි පනතට අනුව එවැනි ආකාරයට කටයුතු කළ නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.



තම කොමිසමට පෙරේදා (09දා) ලැබුණු යෝජනාව අනුව මේ වසරට අදාළ විදුලි ඉල්ලුම හා එය සපයා ගන්නේ කුමන ආකාරයෙන්ද කියන එක හා සාධාරණ ලෙස සිදුවන පිරිවැය ගණනය කර මහජන අදහස් ලබා ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන බවද සභාපතිවරයා සඳහන් කළේය. කැබිනට් මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ඉල්ලා නොමැති බවත්, විදුලි ගාස්තු සංශෝධනයක් ගැන සඳහන් කර තිබෙන අතර, ගාස්තු සංශෝධනයකදී විදුලි ගාස්තු ඉහළ යාම වගේම විදුලි ගාස්තු පහළ යාම පවා සිදුවන බවත් ඒ මහතා පවසා සිටියේය.මෙම සංශෝධනයට අදාළ යෝජනා ලබන මස 15වැනිදාට පෙර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවත්, එහෙත් අදාළ කටයුතු ඊයේ ආරම්භ කළ බවත් පවසා සිටි සභාපතිවරයා, මේ සඳහා දින 45ක පමණ කාලයක් ගත වන නිසා පෙබරවාරි මාසයේදීත් ගාස්තු සංශෝධනයක් සිදුනොවිය හැකි බවද සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයට ඛනිජ තෙල් සංස්ථාව විසින් නැප්තා ඉන්ධන හා දැවි තෙල් අධික මිලකට අලෙවි කරමින් තිබෙන බවත්, මේ නිසා ගල්අඟුරු රටින් ගෙන්වන ආකාරයට මෙම ඉන්ධනද අඩු මිලට විදේශ රටවලින් ගෙන්වීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසීය.

පසුගිය දෙසැම්බර් 28වැනිදා විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට අනුව නැප්තා ඉන්ධන ලීටරයක් රුපියල් 164කට මිලදී ගන්නා බවට පෙන්වාදී තිබෙන බවත්, එහෙත් පෙරේදා සිදුකළ යෝජනාවට අනුව නැප්තා ලීටරයක් රුපියල් 220කට මිලදී ගන්නා බවට සඳහන් කරන තිබෙන අතර, මෙය සාධාරණ පිරිවැයක් නොවන බවත් සභාපතිවරයා පවසා සිටියේය.

ඛනිජතෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලීටරයක් ලබා දෙන්නේ, රුපියල් 320කට බවත්, මෙම මුදල තුළ සංස්ථාවේ ලාභය පවා ඇතුළත් කර තිබෙන බවත් පවසා සිටි හෙතෙම, මෙම මිල ගණන් සාධාරණ නොවන බවද ප්‍රකාශ කළේය.එසේම ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බවට මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී සභාපතිවරයා සඳහන් කළේ, නිසි ක්‍රමවේදයන්ට අනුව අඩු මුදලට ඉන්දියාවෙන් විදුලිය ලබාදීමට කටයුතු කරනවා නම්, කොමිෂන් සභාව එයට විරුද්ධ නොවන බවයි.

 ඉන්දික හේවාවිතාරණ