express-pearl

එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන සිදු වූ නෞකා අනතුර හේතුවෙන් මෙරට මුහුදු තීරයට හා වෙරළ පරිසරයට සිදු වූ හානියට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක වන්දි මුදලක් ලබාගැනීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානියට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ළහඳපුර මහත්මිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට ඊයේ (10දා) පිළිගන්වනු ලැබීය.

අදාළ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද පිළිගැන්වීමට නියමිතය.

මෙම විශේෂඥ කමිටුව නියෝජිතයන් 40දෙනෙකුගෙන් සමන්විත වූ අතර, එහි සම සභාපතිවරුන් ලෙස මොරටුව විශ්වවිද්යාලයේ පශ්චාත් අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය අජිත් ද සිල්වා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.මෙම කමිටුව වසර එකහමාරක කාලයක් නෞකා අනතුර සම්බන්ධයෙන් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ සිදුකර මෙම වාර්තාව සකස් කර ඇත. එහිදී අදහස් දැක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය,

"එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර ලෝකයේ සිදු වූ විශාලතම නෞකා අනතුරක්. මේ අනතුරින් සිදුවන බලපෑම දශක ගණනාවක්ම පවතීවි. ඒ නිසා මෙහි පාර්සරික අධ්‍යයනයන් ඉතාම සැලකිල්ලෙන් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිර්මට විශේෂඥයන් 40දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළා.

ඒ විශේෂඥ කමිටුව ඇතුළෙ තවත් අනුකමිටු 11 ක්‍රියාත්මක වුණා. මෙම විද්වත් කමිටුව වසර එකහමාරක කාලයක් තුළ අධ්‍යයන කටයුතු කළා. මෙරට තිබෙන රසායනාගාරවල ඇතැම් පක්ෂණ සිදු කරන්න බැහැ. එවිට විදේශ රටවලින් අවශ්‍ය පරීක්ෂණ කරවාගත්තා. මියගිය කැස්බෑවුන් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්න ඉතාලියේ පදුවා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් මෙරටට ගෙන්වලා වනජීවී දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා පශු විද්‍යා ආයතනය සමග එකතු වෙලා අදාළ පරීක්ෂණ සිදුකළා. අද ඉදිරිපත් කළේ දෙවැනි අන්තර්වාර වාර්තාවයි. 2021 සැප්තැම්බර් 30වැනිදා වනවිට තත්ත්ව පළමු අන්තර්වාර වාර්තාවෙන් ඉදිරිපත් කළා.

මෙම අන්තර්වාර වාර්තාව ඉදිරිපත් කරන්නේ 2022 නොවැම්බර් මස වනවිට ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙනුයි. නැව තවම අපේ සාගර කලාපයේ තිබෙනවා. අපි තවමත් විශ්වාස කරන්නේ නැවෙන් තවත් පරිසර දූෂණයක් සිදුවන බවයි. නැව ගොඩගත්තම අවසන් පරිසර හානි වාර්තාව හදනවා. පරිසර හානි වාර්තාවක් හදනවිට පිළිගත් ක්‍රමවේදයක් අනුව කළ යුතුයි. අපි වැඩ කරන්නේ විශේෂඥවරුන්ගේ උපදෙස් මතයි. මේක පියවරෙන් පියවර සිදුවිය යුතු දෙයක්. අන්තර්ජාතික ක්‍රමවේදයට අනුව මෙම සිදුවීම සිදු වූ අවස්ථාවේ සිට වසර තුනක් ඇතුළත නඩු පැවරිය යුතුයි. ලංකාවේ නීතියට අනුව අවුරුදු දෙකක් ඇතුළත නඩු පැවරිය යුතුයි. නමුත් අතිරේක වාර්තා අවුරුදු හයක් යනතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. තව වසර එකහමාරක කාලයක් තිබෙනවා නඩු පවරන්න. නැව ගොඩගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. සාගරය යහපත් වුණොත් තව මාස දෙක තුනක් ඇතුළත නැව ගොඩගන්න පුළුවන් වේවි” යැයිද ඇය සඳහන් කළාය.


නවෝද්‍යා පවනි