gampola-incident

සිය සොයුරියගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ 11 ක් පමණ වූ රන් මාලය සොරාගැනීම නිසා පොලිසිය සොයමින් සිටි තරුණයකු ගම්පොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවසේ ඉහළ මාලයේ සිට පලා යෑමට අසල නිවසක වහලයකට පැනීමේදී වහළය කැඩී තට්ටු තුනකින් පහළට වැටී ගෙල බිඳී මියගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයෙකි. මත්කුඩුවලට තදින් ඇබ්බැහිවී සිටි ඔහු සිය සොයුරියගේ රන් මාලය සොරාගෙන ඇති බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් ඔහුගේ පියා ගම්පොළ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහුට විරුද්ධව ගම්පොළ අධිකරණයේ නඩු පවරා ඇත. එම නඩුවේ තීන්දුව එළැඹෙන මාර්තු මස 23 වැනිදා දීමට නියමිතව ඇති අතර සැකකරු අධිකරණය මඟ හැර සිටීමෙන් ඔහුට වරෙන්තු නිකුත් වී ඇති බව පොලිසිය පවසයි.  ගම්පොළ පොලිසියේ නිලධාරින් කිහිප අවස්ථාවකදීම ඔහුගේ නිවසට මේ බව දන්වා අධිකරණයට බාරවන ලෙස දැනුවත් කළත් ඔහු සැඟවී සිට ඇත.

මෙම සැකකරු සොයා පොලිසිය යළි ඔහුගේ නිවසට පෙරේදා (31) යළි ගිය අවස්ථාවේ ඉහළ මාලයේ සැඟවී සිටි සැකකරු කවුළුවකින්  අසල නිවසක වහළයට පැන දිවීමට උත්සාහ කිරීමේ දී එම වහලයේ සෙවිලි තහඩුවක් කැඩී ඔහු පහළට වැටී තිබේ. සැකකරු ගම්පොළ රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.
(සුරංග රාජනායක)