රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයකු සිටියදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තවත් සභාපතිවරයකු අලුතින් පත්කර එවීම හේතුවෙන් ඊයේ (12) උදේ එහි උණුසුම් තත්වයක් ඇතිවිය. රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරී සහ ප්‍රකට ව්‍යාපාරික ජේ.එම්. සී. ජයසේකර මහතා කටයුතු කරන අතර, තමන් නව සභාපතිවරයා ලෙස පත්ව ඇතැයි පවසමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුත් ලිපියක් ද රැගෙන රාජ්‍ය බැංකුවක හිටපු විධායක නිලධාරියකු බව කියන ඒ.ඩී. නිමල් ධර්මරත්න මහතා පාදුක්කේ පිහිටි මුද්‍රණ සංස්ථා ප්‍රධාන කාර්යාලයට ඊයේ වැඩ භාරගැනීමට පැමිණියේය.
ඔහු පැමිණි පසුව එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ජයසේකර මහතා තනතුරින් ඉවත් කළ බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා ආයතනයට ෆැක්ස් පණිවුඩයක් එවා තිබූ බව ද වාර්තා විය.
සභාපතිවරුන් දෙදෙනකු එකම දින වාර්තා කිරීම නිසා එහි අර්බුදකාරි තත්වයක් මතු වූ අතර, වැඩ බාරගැනීමට පැමිණි නිමල් ධර්මරත්න මහතාට සංස්ථා වෘත්තීය සමිති සේවකයන්ගෙන් දැඩි විරෝධයක් ද එල්ල වූ බවත්, එම විරෝධය හමුවේ ඔහු එම ස්ථානයෙන් පිටව ගිය බවත් වෘත්තීය සමිති පවසයි.සංස්ථාවේ සභාපති ජේ.එම්.සී. ජයසේකර මහතා තනතුරෙන් ඉවත් කළ බව දැනුම් නොදී නව සභාපතිවරයකු පත් කර එවා ඔහු පැමිණි පසු ඉවත් කළ බව දන්වා ෆැක්ස් පණිවිඩයක් එවීම ගැන අධ්‍යාපන අමාත්‍යවරයාට අප්‍රසාදය පළ කරන බවත් වෘත්තීය සමිති සාමාජිකයෝ පවසති. මුද්‍රණ සංස්ථාවේ සභාපති ජේ.එම්.යූ. ජයසේකර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසුවේ තමා සභාපති ධුරයෙන් ඉවත් කළ බවට කිසිදු දැනුම්දීමක් නොකළ බවත්, තමා පත්කරනු ලැබ ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් බවත්ය.
අධ්‍යාපන ඇමැතිවරයාගේ ලිපියක් ගත් පුද්ගලයකු එහි වැඩ බාරගැනීමට පැමිණි බවත් ඉන්පසු අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත්සනින් තමන් ඉවත් කළ බව දන්වා ෆැක්ස් පණිවුඩයක් ලැබුණු බවත් ජයසේකර මහතා කීවේය. පාසල් පෙළ පොත්වලින් සියයට හතළිස් පහක් මුද්‍රණය කරන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව බවත්, එම වගකීම ඉටුකර මිස තමන් ඉවත් නොවන බවත් ඔහු පැවසීය.තමා ඉවත් වුණොත් සේවක වර්ජන නිසා පාසල් පෙළ පොත් මුද්‍රණය ඇණහිටිනු ඇතැයි ද කී ඔහු මෙය අධ්‍යාපන අමාත්‍යවරයා සිදු කළ විශාල වරදක් බව ද කීය.
මේ අතර නව සභාපතිවරයා ලෙස පැමිණි ඒ.ඩී. නිමල් ධර්මරත්න මහතා සඳහන් කළේ හැරිලා තමා ගියත් (13) දින වැඩ භාර ගන්නා බවය. තමාට පත්වීම ලබා දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යවරයා බවත්, කවුරු විරෝධය පළ කළත් ප්‍රශ්නයක් නැති බවත් ඔහු පැවසීය.රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ පොදු ජන සේවක පෙරමුණේ සභාපති සුසන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ සංස්ථාව කඩාවැටී තිබූ අවස්ථාවේ නිසිමගට ගෙනආවේ ජේ.එම්.යූ. ජයසේකර මහතා බවයි.නිසි ක්‍රමවේදයකින් තොරව ඔහු ඉවත් කර නව සභාපතිවරයකු පත් කර එවා ඇති බවත්, හිටපු සභාපතිවරයාට ගෞරවනීය සමුගැනීමක් හෝ නොදී කළ එම පත්වීම කිසිසේත් නොපිළිගන්නා බවත් කී චන්ද්‍රසිරි මහතා වෙනත් අයකුට සභාපතිවීමට ඉඩ නොදෙන බව ද කීවේය.
කේ. බුද්ධික කුමාරසිරි
0 Comments