helicopter-nidahas-janatha-sandanaya

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා හෙළිකොප්ටරය ලකුණ සහිත ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් නව සන්ධානයක් ඊයේ පිහිටුවන ලදී.

ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී දේශපාලන පක්ෂ 12ක් සහ තවත් පාර්ශව 62ක සහභාගිත්වයෙන් යුතුව මෙම නව සන්ධානය පිහිටුවනු ලැබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය හා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රී කණ්ඩායම ඇතුළු පාර්ශවයන් මෙම නව සන්ධානය නියෝජනය කරයි.



උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, විජයධරණී ජාතික සභාව හා යුතුකම ජාතික සංවිධානය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, ජන ජය පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, නිදහස් ජනතා පෙරමුණ ද ' සන්ධානගත විය.

නිදහස් ජනතා සන්ධානය පිහිටුවීම සංකේතවත් කරමින් නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජන ජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අසංක නවරත්න, නිදහස් ජනතා පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා යන මහත්වරු සන්ධාන ගිවිසුම් පත්‍රයට අත්සන් තැබීම ද මෙහිදී සිදු විය.



මෙම අවස්ථාව අමතා ජන ජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු අදහස් දැක්වූහ.