imf-2023

2023 වසරේ ලෝකයෙන් තුනෙන් එකක් ආර්ථික අවපාතයකට ඇද වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි. එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මේ බව පවසා තිබුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. 2023 වසර 2022 වසරට වඩා දුෂ්කර වසරක් වනු ඇති බවත්, ඇමරිකානු, යුරෝපා සහ චීන ආර්ථිකයන්හි ඇති වන පසුබෑමෙහි බලපෑම ඊට හේතුවනු ඇති බවත් ඇය සඳහන් කර තිබුණාය. ‘ලෝකයෙන් තුනෙන් එකක් පමණ ආර්ථික අවපාතයකට මුහුණ දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා’ යැයි ඇය පවසා තිබේ. අවපාතයක් ඇති නොවන රටවල වුවද කෝටි ගණනක ජනතාවකට අවපාතයකට සමාන තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඇය සඳහන් කරයි.



යුක්රේන යුද්ධය ඉහත කී ආර්ථික අර්බුදය උත්සන්න කරන ප්‍රධාන සාධකයකි. එමෙන්ම බොහෝ රටවල උද්ධමනය ඉහළ යෑම, එය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දැමීම, චීනයේ නැවතත් කොවිඩ් තත්ත්වය වර්ධනය වීම ද ආර්ථික ගැටලුවලට දායක වනු ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. 2023 වසරේ ආර්ථික වර්ධනය පිළිබඳව කලින් පුරෝකථනය කර තිබූ මට්ටම තව දුරටත් පහත හෙළීමට පසුගිය ඔක්තෝබර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළේය. ජූලි මාසයේ ඔවුන් පවසා තිබුණේ 2023 ගෝලීය ආර්ථිකය සියයට 2.9කින් වර්ධනය වනු ඇති බවයි. නමුත් ඔක්තෝබර් මාසයේ ඔවුහු මෙම මට්ටම සියයට 2.7ක් දක්වා පහත දැමුවෝය.

චීනය එරට ක්‍රියාත්මක කළ කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමත් සමග මේ වනවිට රට තුළ නැවතත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යමින් තිබේ. චීනයේ ආර්ථික වර්ධනයට එය යම් බලපෑමක් එල්ල කරනු ඇත. ‘ඉදිරි මාස කිහිපය චීනයට දුෂ්කර කාලයක් වේවි. මෙය චීනයේ ආර්ථිකයට අයහපත් ආකාරයෙන් බලපාවි. එම කලාපයට අහිතකර ආකාරයෙන් බලපාවි. එමෙන්ම ගෝලීය වශයෙනුත් අහිතකර බලපෑමක් එල්ල කරාවි’ යැයිද ජෝර්ජිවා පවසා තිබිණි.

ඇය ප්‍රකාශ කර තිබුණේ චීනයේ තත්ත්වය ගැන විශේෂයෙන් ආසියානු රටවල නායකයන් යම් ආතතියකින් පසුවන බවයි. ‘මම ආසියානු නායකයන් සමග කතා කරනකොට ඔවුන් කවුරුත් අහන ප්‍රශ්නයක් තියෙනවා. චීනයට මොකද වෙන්න යන්නෙ, චීනය නැවත කලින් පැවැති ඉහළ ආර්ථික වර්ධනය කරා ළඟා වෙයි ද කියන එකයි ඒ.’

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටවල් 190ක් පමණ සාමාජිකත්වය දරන සංවිධානයකි. ගෝලීය ආර්ථිකය ස්ථාවර තත්ත්වයක පවත්වා ගැනීම සඳහා ඔවුහු එකමුතුව කටයුතු කරති. ආර්ථිකය සම්බන්ධව ඇති අවිනිශ්චිතතාවන් පිළිබඳව කල්වේලා ඇතිව අනතුරු ඇඟවීමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යයකි.

සහන් වික්‍රමගේ