january-power-tarrif

ජනතාවට දරා ගත නොහැකි ආකාරයෙන් විදුලි බිල ඉහළ දැමීමට අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ දින කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළද ඊට අනුමැතිය හිමි වූයේ නැත.



විදුලි වෘත්තීය සමිති අවධාරණය කොට තිබුණේ විදුලි බල වැඩි කිරීමට තීරණය කළ මොහොතේ සිටම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්වලට අවතීර්ණ වීමට තීරණය කොට ඇති බවකි.

විදුලි බිල ඉහළ දැමීමට ගෙන තිබෙන තීරණයට විරෝධය පා අද (03දා) දිවයින පුරා විරෝධතා ව්‍යාපාර පවත්වන බවත්, මෙම ක්‍රියාමාර්ගයේ ප්‍රධාන විරෝධතාව කොළඹ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිදුකරන බවත් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කර තිබුණි.


මේ අනුව දහවල් 12.00 - 2.00 අතර කාලයේදී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සියලුම විදුලි ඉංජිනේරු කාර්යාල ඉදිරිපිට, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාල ඉදිරිපිට සහ හා විදුලි බලාගාර ඉදිරිපිට මෙම විරෝධතා ව්‍යාපාර පවත්වන බවද ඔවුහු සඳහන් කරති.

මෙම බාධාව හමුවෙහි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සතියක නිරීක්ෂණ කාලයක් ලබා දීමට ඇමැති මණ්ඩලය ඊයේ (02) රාත්‍රියේ තීරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව වසරේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්විණි. එහිදී මුදල් අමාත්‍යාංශය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. එම කැබිනට් පත්‍රිකාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඇමැති කංචන විජේසේකර අත්සන් තබා ඇත.
නිරීක්ෂණ ලැබීමෙන් පසු ලබන සඳුදා (09) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමේදී විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීමටද කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේද අනුමැතිය ලැබී ඇත. මාස හයකට වරක් විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරයට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

රුපියල් දෙසීයට අඩු විදුලි බිලක් ලැබෙන පවුල් ලක්ෂ දහසයක් විදුලි පාරිභෝගිකයන් අතර සිටින අතර මෙම ගාස්තු සංශෝධනයෙන් ඔවුන්ට ලැබෙන විදුලි බිලද වැඩි වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලයට මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ප්‍රතිපාදන නතර කිරීමටද නියමිතය.

කෙසේ වෙතත් ආණ්ඩුව ගෙන තිබෙන තීරණය හකුළාගන්නා තුරු ඉදිරියේදී  විරෝධතා ව්‍යාපාර හා වැඩවර්ජන සිදු කිරීමට සැලසුම් කර තිඛෙන බව වෘත්තීය සමිති සඳහන් කරති.