katunayake-expressway

කටුනායක අධිවේගී මාර්ගයේ කඳාන ජා – ඇළ අතර අධිවේගී මාර්ගයේ 13.4 කිලෝමීටර් කණුව අසල මාර්ගය මැද බිම අතුරා ඇති විදුලි රැහැන් කපමින් සිටියදී පුද්ගලයෙකු රිය අනතුරකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.අනතුරින් මියගිය පුද්ගලයාගේ හිස කොටස හදුනාගත නොහැකි තරමටම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර දෙපා බිදී ගොස් ඇති බවද පොලීසිය පවසයි. චීන ජාතිකයකු පැදවූ මෝටර් රථයක ගැටී විරුද්ධ මංතීරුවට විසිවී එහි ගමන් ගත් තවත් වාහනයකට යට වීමෙන් මොහු අනතුරට ලක්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි.



කොළඹ පෝට්සිටි ව්‍යාපෘතියේ ආහාර සපයන්නෙකු ලෙස සේවය කරන චීන ජාතිකයකු ඉකුත් (31දා) අලුයම ඔහුගේ මිතුරෙකු කටුනායක ගුවන්තොටුපළට ඇරලවා නැවත එමින් සිටියදී කදාන පොලිස් වසමට අයත් අධිවේගී මාර්ගයේ 13.4 කිලෝ මීටර් කණුව අසලදී මාර්ගය හරහා ගමත් කිරීමට උත්සාහ දැරූ පුද්ගලයකු මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව තිබිණි. අනතුරින් මෝටර් රථයේ ගැටුණු පුද්ගලයා අතුරුගිරිය දෙස සිට කටුනායක දෙසට වාහන ධාවනය වන විරුද්ධ මං තීරුවට විසිවී එහි ගමන්ගත් තවත් වාහනයකට යට වී ඔහුගේ හිසින් ඉහළ කොටස හදුනාගත නොහැකි තරමටම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය වාර්තාවීමත් සමග අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයා සොරා ගත් බවට සැකකෙරෙන අගල් 20 සහ 22 දිගින් යුත් විදුලි රැහැන් තොගයක්, යකඩ කපන කියතක්, සහ මිටියක් සොයාගෙන තිබේ.

මොහු අධිවේගී මාර්ගය මැද එළා ඇති විදුලි රැහැන් සොරා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණදී ඇති බවට පොලීසිය සැක කරයි. අනතුරින් චීන ජාතිකයා පැදවූ  මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට සහ තවත් උපාංග රැසකට බරපතළ හානි සිදුව ඇතැයි පැවසේ. මේ වන විට මියගිය පුද්ගලයාගේ දේහය හඳුනාගෙන නොමැති අතර නාදුනන මළසිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මෘතදේහය හඳුනාගැනීමට පොලීසිය මහප්ත සහාය පතන අතර යම් තොරතුරක් වෙතොත් කඳාන පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 ශාන්න පුදීප් කුමාර කුලරත්න