kesbewa-incident

ජලසම්පාදන  මණ්ඩලයේ විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස හදුන්වා දෙමින් ජල සැපයුම විසන්ධි කරන බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ කම්කරුවකු ලෙස සේවය කරන වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි.  

කැස්බෑව ප්‍රදේශයේ සැකකාර පුද්ගලයා ව්‍යාපාරික ආයතනයකට ගොස් තමන් ජලසම්පාදන මණ්ඩලයේ ජල සැපයුම විසන්ධි කරන නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ආයතනය මගින් නිකුත් කරන ලද හැඳුනුම්පත පෙන්වා එම ආයතනයේ ජල බිල්පත් පරීක්ෂාකර බිල් නිසි පරිදි නොගෙවීම හේතුවෙන් ජල සැපයුම විසන්ධි කිරීමට සිදුවන බවට පවසා තිබූ බව පොලිසිය කියයි.

ජල සැපයුම විසන්ධි නොකර සිටීමට නම් තමන්ට රුපියල් 4000 මුදලක් දෙන ලෙසත් සැකකරු පවසා ඇති අතර එතරම් මුදලක් නොමැති බව පැවසීමෙන් අනතුරුව තේ බීමට රුපියල් පන්සියයක් ලබා දෙන ලෙස සැකකරු ව්‍යාපාරිකයාට පවසා ඇත. ඒ අනුව ව්‍යාපාරිකයා රුපියල් පන්සීයක් එම පුද්ගලයාට ලබාදී ඇති අතර ඔහු එම මුදල ගත් සැනින් එම ස්ථානයෙන් පිටවීම පිළිබඳ සැක සිතුණ ව්‍යාපාරිකයා ජලසම්පාදන මණ්ඩලයට දුරකථන ඇමතුමක් ගෙන තම ගිණුම් අංකය පවසා ජල සැපයුම විසන්ධි කිරීමට නිලධාරියකු යොමු කළේ දැයි විමසා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.



 එලෙස නිලධාරියකු යොමු නොකළ බවත් විසන්ධි කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් පැවසීමෙන් අනතුරුව ව්‍යාපාරිකයා ඔහු හමුවට පැමිණ පිටවී ගිය පුද්ගලයා සොයා බැලීමේදී සැකකරු තවත් ව්‍යාපාරික ස්ථානයකට ගොස් ඒ අයුරින්ම එම ව්‍යාපාරිකයා සමග කතාබස් කරමින් සිටියදී ඔහු සමඟ එක්ව සැකකරු අල්ලාගෙන පොලීසියට භාරදුන් බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරු මහරගම, පන්නිපිටිය පදිංචිකරුවෙකි. පාරිභෝගිකයකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට නම් අනිවාර්යයෙන්ම ඉංජිනේරු සහකාරවරයකු පැමිණිය යුතු යැයි ජල ජලසම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.


බිමල් ශශ්‍යාමන් ජයසිංහ