koswatte-accident

කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන වැඩිමහල් දියණිය එම සරසවියට ඇරලවා නැවත නිවසට එමින් සිටි ව්‍යාපාරිකයකු පැදවූ යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් පැදිකරු මහමග පසෙකට විසිවී ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට යට වී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි. 

මෙසේ මියගොස් ඇත්තේ මහරගම පමුණුව පාර අංක 47/1 හි පදිංචි මාගලගේ රවීන්ද්‍ර ජනක පෙරේරා (51) නමැති පමුණුව ප්‍රදේශයේ මහා පරිමාණ රෙදිපිළි ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි.දෙදරු පියකු වන මෙම පුද්ගලයාගේ වැඩිමහල් දියණිය අධ්‍යාපනය ලබන කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඇය ඇරලවා බොරැල්ල දෙස සිට කොට්ටාව දෙසට යතුරු පැදියකින් නැවත නිවසට එමින් සිටිය දී තලංගම කොස්වත්ත පාලම් තුන හන්දියේ දී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය තලංගම දිසා රෝහලට ගොස් මෘත දේහය පරීක්ෂා කොට පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළාය. 

ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද්‍ර සමරනායක මහතා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව නිකුත් කර තිබූණි.  හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය තලංගම දකුණ හදිසි මරණ පරීක්ෂණ උසාවියේ දී සිදු කළ අතර මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව රිය අනතුරකින් පපු පෙදෙසට හා හිස්කබලට සිදුවූ බරපතළ හානිය බවට නිගමනය කළාය.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න