liquer-sigar-tax-up

සියලුම වර්ගයේ මධ්‍යසාරවල සහ දුම්වැටි සඳහා අයකරන බදු 20%කින් ඉහළ නැංවීමට ඊයේ (03දා) මධ්‍යම රාත්‍රියේ සිට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2312/70 සහ 2312/68 දරණ ගැසට් නිවේදන මගින් මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙම නව බදු වැඩිවීමට අනුව,  විශේෂ අරක්කු (මි. ලී,750 / සැර 33.5%) බෝතලයක් සඳහා පැවති රු.1,050ක බද්ද රු.1,256ක් දක්වා රු.206කින් ඉහළ යයි.ඉක්ෂුපාක/පොල්/තල් හා පදම්කල අරක්කු (මි.ලී.750 / සැර 33.5%) බෝතලයක් සඳහා පැවති රු.1,121ක බද්ද රු.1,344ක් දක්වා රු.224කින් ඉහළ යයි. දේශීයව නිෂ්පාදනය කරන ලද විදේශීය අරක්කු (මි.ලී,750 / සැර 38.2%) බෝතලයක් සඳහා පැවති රු.1,309ක බද්ද රු.1,576ක් දක්වා රු.266කින් ඉහළ යයි.



සැර 5%ට අඩු ධාන්‍ය මත්පැන් හෙවත් බියර් (මි.ලී. 625 / සැර 4.8%) බෝතලයක් සඳහා පැවති රු.103ක බද්ද රු.124ක් දක්වා රු.21කින් ඉහළ යයි. සැර 5%ට වැඩි ධාන්‍ය මත්පැන් හෙවත් සැර බියර් (මි.ලී. 625 / සැර 8.8%) බෝතලයක් සඳහා පැවති රු.194ක බද්ද රු.233ක් දක්වා රු.39කින් ඉහළ යයි. වයින් (මි.ලී. 625 / සැර 12.0%) බෝතලයක් සඳහා පැවති රු.248ක බද්ද රු.297ක් දක්වා රු.50කින් ඉහළ යයි. සකේ (මි.ලී. 625 / සැර 15.0%) බෝතලයක් සඳහා පැවති රු.84ක බද්ද රු.101ක් දක්වා රු.17කින් ඉහළ යයි.

මීට අමතරව, කිරි පොන්සා(මි.ලී. 750 / සැර 17.0%) බෝතලයක නව බද්ද රු.350ක් දක්වාත්, සයිඩර් (මි.ලී. 750 / සැර 4,0%) බෝතලයක නව බද්ද රු.90 දක්වාත් ඉහළ නංවා තිබේ. දුම්වැටි සඳහා බදු වැඩිවීමත් සමග දුම්වැටි මිල පහත පරිදි සංශෝධනය වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරයි. ඒ අනුව, රු.90ක්ව පැවති දුම්වැටියක (දිග මි.මී. 84ට වැඩි) නව මිල රු.105ක් දක්වාත්, රු.85ක්ව පැවති දුම්වැටියක (දිග මි.මී.72 - මි.මී.84ට වැඩි) නව මිල රු.100ක් දක්වාත්, රු.70ක්ව පැවති දුම්වැටියක (දිග මි.මී.67 - මි.මී.72ට වැඩි) නව මිල රු.80ක් දක්වාත්, රු.60කට පැවති දුම්වැටියක(දිග මි.මී.60 - මි.මී.67ට වැඩි) නව මිල රු.70ක් දක්වාත්,රු.15කට පැවති දුම්වැටියක (දිග මි.මී 60ට නොවැඩි) නව මිල රු.24ක් දක්වාත් මිල ඉහළ නැංවෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.



මීට අමතරව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සෑම බීඩියක් සඳහා රු.2 බද්දක් අය කෙරෙන බවද පෙන්වා දෙන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, මෙම සංශෝධනය මගින් රජය රු.බිලියන 22ක පමණ අමතර ආදායමක් අපේක්ෂා කරන බව පවසා සිටියේය.


 ෂමිල පෙරේරා