lula-brazil-president

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස ලුයිස් ඉන්කාසියෝ ලූලා ඩි සිල්වා පසුගිය ඉරිදා (01දා) දිනයේදී දිවුරුම් දුන්නේය. මෙය ඔහු බ්‍රසීල ජනාධිපති ධුරය සඳහා පත්වූ තෙවැනි අවස්ථාවද වෙයි. 77 හැවිරිදි ලූලාට එරෙහිව එල්ල වූ මුදල් වංචා චෝදනා යටතේ පසුගිය කාලයේදී ඔහු සිරගතවද සිටියේය. එරට ජනාධිපති ධුර කාලය වසර හතරකි.

මෙවර ජනාධිපතිවරණයේදී ධුරයෙන් ඉවත්ව ගිය ජනාධිපති ජෙයිර් බොල්සෙනාරෝ සමග තරග වැදුණු ලූලා එහිදී විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත් විය. පසුගිය ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වුණි. කෙසේ වෙතත්, මෙම ප්‍රතිඵලය පිළිනොගන්නාබව පවසමින්බොබොල්සෙනාරෝගේ ආධාරකරුවෝ රට පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මක කළහ.

එසේම නව ජනාධිපති ලූලා වෙත ඔවුන්ගෙන් මරණ තර්ජනද එල්ල විය. ඒ අනුව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාව දැඩි ආරක්ෂක රැකවල් මැද සිදු කිරීමටත් කටයුතු යොදා තිබුණි. ඒ අනුව පොලිස් සෙබළුන් 8,000ක පිරිසක් මෙහි ආරක්ෂාවට යොදවා තිබූ බව පැවසෙයි. මෙහිදී අදහස් දක්වා සිටි බ්‍රසීලයේ නව ජනාධිපති ලූලා, තමන් ජනතාවත් සමග එක්ව රට ගොඩනගන බව පවසා තිබේ. එහිදී දුප්පත් බ්‍රසීල ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට කටයුතු කරන බවට පොරොන්දු වන බවත් ඔහු පවසා ඇත.



එසේම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ආරක්ෂා කිරීමටත්, ඇමර්සන් වැසි වනාන්තරයේ සිදුවන වනාන්තර හරණය ශුන්‍යයක් බවට පත් කිරීමටත් කටයුතු කරන බවත් ඔහු පවසා තිබේ. මේ අතර හිටපු ජනාධිපති බොල්සොනාරෝ මෙම දිවුරුම්දීම මගහැරීම සඳහා ඊට දින දෙකකට පෙරාතුව පසුගිය සිකුරාදා දිනයේදී එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා නුවර වෙත ගිය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම දිවුරුම්දීමේ අවස්ථාව සදහා ලක්ෂ තුනකට ආසන්න බ්‍රසීල වැසියන් පිරිසක් සහභාගී වන්නට ඇතැයි විශ්වාස කෙරේ.