ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම දින දහයකට තාවකාලිකව අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (11) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පනවා ඇති එම තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා ද අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කළේ ලබන 20 වැනිදා සිට 30 වැනිදා දක්වා අතර කාලයේදී තම සේවාදායකයාට විදෙස්ගත වීම සඳහා අවසර ලබා දෙන ලෙසය. මෙම නඩුකරයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය විදෙස් ගමන් බලපත්‍රය ඉකුත් 2022 වසරේ ජුනි මස 29 වැනිදා අධිකරණයට භාරදී ඇති අතර, විදෙස්ගත වීමෙන් පසුව නැවත පැමිණ එය අධිකරණය භාරයට ලබා දෙන ලෙසට ද නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එවැනි ඉල්ලීමක් කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම්කර ඇද්දැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා සැකකරුවකු ලෙස නම් කර නොමැති බවය. අරගල සිද්ධීන්ට අදාළ විමර්ශනවලට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බලපෑම් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඉකුත් නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂවරයාට නියෝගයක් නිකුත් කර තිබූ අතර,
විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කිසිදු බලපෑමක් හෝ අවහිරයක් කර නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් වන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් සජිත් ජයතිලක, මහින්ද කහඳගම, අජන්ත ලියනගේ, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු යන අය ඇතුළු සැකකරුවෝ විසි දෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.මෙම සිද්ධියට අදාළ ඉදිරි නෛතික පියවර සඳහා නඩුවේ උධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන මාර්තු මස 28 වැනිදා තෙක් කල් තැබීය.
නිමන්ති රණසිංහ
0 Comments