maithripala-begger

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ගෙවන්න යැයි පැවසුවද, තමන්ට එතරම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සදහා වත්කමක් නොමැති බවත්, වන්දිය ගෙවීමට මුදල් සොයා ගැනීමට පිටකොටුවේ බෝගහ ළඟ ටින් එකක් සොලවන්න දැයි මිතුරන්ගෙන් විමසූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ, නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) පැවති ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයකදී ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

"ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරින් යම් වැරැද්දක් කළොත් එයට ජනාධිපතිවරයාද වගකිව යුතුයි කියා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ලියා තිබෙනවා. පොලිස්පති, ආරක්‍ෂක ලේකම් පත් කරන්නේ ජනාධිපතිවරයා නිසා ඒ වගකීම ඒ අයගෙන් ඉෂ්ට නොවුණ නිසා එයට මමත් වගකිවයුත්තෙක් කියා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට කෝටි 10ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුවේ සදහන් වෙනවා.  මම මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් සහ පුරවැසියෙක් විදිහට මම නීතියට අධිකරණයට ගරු කරන කෙනෙක්. අධිකරණ තීන්දුවට මම හිස නමනවා. ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් නෑ.



ඕන කෙනෙක් දන්නව පාස්කු සිද්ධිය සිදුවන අවස්ථාවේ මම හිටියේ පිටරට. මම ලංකාවට පැමිණි දවසේ සිට පාර්ලිමේන්තුවේ සහ විවිධ ස්ථානවලදී ජනාධිපති කාලයෙත් ඊට පසුවත් මම අනන්තවත් කියා සිටියා ඒ සිද්ධියසම්බන්ධව ආරක්‍ෂක අංශ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණට ඒ කිසිදු නිලධාරියෙක් ඒ සම්බන්ධව මා දැනුවත් කර තිබුණේ නෑ කියලා. අගවිනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් හත්දෙනා දුන්න නඩු තීන්දුවේ පිටු 85ක් ලියා තිබෙනවා. මෙම පිටු 85 ඇතුළත තිබෙනවා නිලධාරින්ට තොරතුරු ලැබී තිබුණට හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධව කිසිදු ආකාරයකින් දැනුවත් වෙලා නෑ කියලා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු ඔත්තු සේවාවලට, ආරක්‍ෂක අංශයට, පොලීසියේ ප්‍රධානියාට, ආරක්‍ෂක ලේකම්ට, කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, පොලීසිවල ස්ථානාධිපතිවරුන්ට මේ සියලු දෙනා දැනුවත් වී තිඛෙනවා. නමුත් ඒ සම්බන්ධව මා දැනුවත් වී නොතිබුණු බව මේ පසුගිය වසර හතර පුරාවටම මම කියා තිබෙනවා. උසාවියේ පිටු 85ක නඩු තීන්දුවේ පැහැදිලිව තිබෙනවා ජනාධිපතිවරයාට මේ පිළිබද තොරතුරු ලබාදී නොතිබුණු බව.

දැන් ඔබ සිතනවා ඇති මානව හිමිකම් කඩ වීමක් සම්බන්ධව මට කොහොමද කෝටි දහයක් ගෙවන්න තීන්දු කළේ කියලා. කෝටි 10ක වන්දියක් ගෙවන්න තරම් ආර්ථිකයක් මට කොහෙත්ම නෑ. මම ඒ සම්බන්ධව කරුණු කියන්නේ නෑ.

මම සහ මගේ හිතවතුන් මේ සම්බන්ධව තීරණය කර තිබෙන්නේ අපි අපට හිතවත් අයගෙන් සල්ලි එකතු කරමු කියලා. නමුත් මම එතැනදි ඇහුවා කොළඹ කොටුවේ බෝගහ යට මම ටින් එකක් හොලව හොලව ඉන්නද කියලා. නමුත් මගේ හිතවත් මිත්‍රයින් රාශියක් මට කියපු දේ තමා ඔබතුමාට කිසිදු ආදායම් මාරිග නෑ ඒ නිසා ඔබතුමාගේ ආර්ථිකය කොහොමද කියා අප දන්නවා කියලා.

මගේ වත්කම් ප්‍රකාශනය මට සෑම වසරකම පාර්ලිමේන්තුවට ලබාදී තිඛෙනවා. බොහෝ ජනාධිපතිවරු ජනාධිපති වූ පසුව තමන්ගේ නිල කාලය තුළ වත්කම් ප්‍රකාශය ලබාදී නෑ. ඒ ඔවුන් ජනාධිපතිවරුන් නිසා.මම ජනාධිපති වෙලා සිටි වසර පහ තුළදීත් මම සෑම වසරකම මගේ වත්කම් ප්‍රකාශය ලබාදී තිබෙනවා. මගේ වත්කම් ප්‍රකාශනය ඕනෑම අයෙකුට බලන්න හැකියාව තිඛෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගැනීමට හැකියාවක් තිබෙනවා නම්, ඕන කෙනෙක් මගේ වත්කම් ප්‍රකාශනය අරගෙන බලන්න. ඒ නිසා මගේ මිත්‍රයන් තීරණය කර තිබෙන ආකාරයට මා බලාපොරොත්තු වන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සදහා අවශ්‍ය සහයෝගය ගන්න.” යැයි පවසා සිටියේය.

පුෂ්පකුමාර මල්ලවආරච්චි