mattala-hotel-issue

වෘත්තීය සමිති නායකයකු බව කියන අයකු විසින් මත්තල අධිවේගී පිවිසුම් මාර්ගයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇතැයි කියන අසත්‍ය ප්‍රකාශයක් නිසා තම හෝටල් ව්‍යාපාරයට අපහාසයක් සිදු වී ඇති බව කියමින් එම හෝටලයේ අයිතිකරු ඊයේ (11) එම වෘත්තීය සමිති නායකයාට එරෙහිව පැමිණිල්ලක් කර ඇතැයි මත්තල පොලීසිය කියයි.

මෙම වෘත්තීය සමිති නායකයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව ද පොලීසිය සඳහන් කළේය. මෙම වෘත්තීය සමිති නායකයා තවත් තිදෙනකු සමග ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දිනක තම හෝටලයට පැමිණ මස්, මාළු සමග දිවා ආහාරය ගත් බව හෝටලයේ හිමිකරු පැමිණිල්ලක් කරමින් පවසන්නේ යැයි පොලිස් ආරංචිමාර්ගවලින් දැනගැනීමට ඇත.



බිල්පත ගෙවීමට පැමිණි අවස්ථාවේ තමන් එළවළු පමණක් ආහාරයට ගත් බව ඔවුන් පවසා සිටියේ යැයි ද හෝටලයේ හිමිකරු පොලීසියට පවසා ඇතැයි කියයි. තමන් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් යැයි පවසා, පසුව ඔවුන් බිල්පත ගෙවා පිටව ගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.මෙම වසරේ ජනවාරි මස 3 වැනිදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ ජනාධිපති කාර්යාලයෙන් එවූ බව කියමින් ලිපියක් පෙන්වා හෝටලයේ වැසිකිළිය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව හෝටල් හිමිකරුට පවසා ඇතැයි පොලීසිය කීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැසිකිළිය පරීක්ෂා කර බලා ප්‍රශ්නයක් නොමැති බව පවසා පිටව ගිය බව හෝටල් හිමිකරු වැඩිදුරටත් පොලීසියට පවසා තිබේ. 

ඉන් අනතුරුව මෙම වෘත්තීය සමිති නායකයා බව කියන අය ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් වෙත මෙම හෝටලය අපිරිසුදු බව පවසා ලිපියක් යොමු කර එම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇතැයි හෝටල් හිමිකරු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව කියති. මෙම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම මගින් තම ව්‍යාපාරයට අපහාසයක් සිදු වී ඇති බව කියමින් හෝටල් හිමියා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය