meerigama-incident

මේ රටේ කෝටි දෙකකට අධික මිනිසුන් අතරේ බොහෝ පිරිසක් ණයකරුවෝය. ඒ තම දරුවන්ට තම දෙමාපියන්ට සැලකීමට හෝ රටේ වත්මන් ආර්ථික තත්ත්වය ප්‍රමාණවත් නොවන නිසාය. කෝටිපතියෝ පවා අද ණය උගුල්වල සිරවී සිටින පසුබිමක ජීවන බර නිසා ණය ලබාගත් දුප්පත් ජනතාවට අත්ව ඇත්තේ සිතාගත හෝ නොහැකි ශෝචනීය තත්ත්වයකි.

පවතින ආර්ථික පීඩාවන් දරාගත නොහැකිව තම දරුවන් දෙදෙනාට වස පොවා තමන්ද වස පානය කළ කාන්තාවක ගැන මේ කතාව ඇසෙන්නේ නාල්ල ප්‍රදේශයෙනි.

32 හැවිරිදි නිලූකා තම සැමියා සහ දරු දෙදෙනා සමගින් පදිංචිව සිටියේ නාල්ල තලාහේන ලෝලුවාගොඩ ප්‍රදේශයේ පුංචි නිවෙසකය. නිලූකාගේ සැමියා නිවෙස් හා ගොඩනැගිලිවල ටයිල් අල්ලා හම්බ කරගන්නා මුදලින් මේ පවුලේ ජීවිකාව ගෙන ගියේය. එහෙත් රටේ පවතින ආර්ථික ප්‍රශ්න නිසා මේ පවුලේ ආදායම් අඩු වන්නට විය. විවිධ උවමනාවන් නිසා හතර වටින් ණය ගැනීමටද ධම්මිකාටත් ඇයගේ සැමියාටත් සිදුවූහ. මේ ගත් ණය කොපමණද කියා දන්නේ ඒ අඹුසැමි යුවළම පමණි.



මේ පවුලේ වැඩිමහල් දියණිය වූයේ මනුකි දහම්සා සංදීපනී ය. ඇය අට හැවිරිදි දැරියකි. අනෙක් දරුවා 05 හැවිරිදි පේෂාන් සචින්තය. මේ දරු දෙදෙනා පැණි බීම පානය කිරීමත් පැණි රස කෑමටත් දැඩි රුචිකත්වයක් දැක්වූයේ දෙමාපියන් කුඩා කල සිටම ඔවුන්ට කඩචෝරු කෑමට පුරුදු කර තිබූ නිසාය.

නමුත් අධික ණය බරින් සිටි ඔවුන්ට පොලී ගෙවා ගැනීමට හෝ නොහැකි වූ තැන නිරන්තරයෙන් ධම්මිකාට ණය හිමියන්ගෙන් බැණුම් ඇසීමට සිදුවූයේ දරු දෙදෙනා සමගින් ඇය නිවෙසේ රැඳී සිටින නිසාය.

තත්ත්වය මෙසේ වුවත් ඇය පසුගිය 28 වැනිදා කිසිදා නොගත යුතු අනුවණ තීරණයක් ගෙන තිබිණි. ඒ තම දරු දෙදෙනාට වස පොවා තමාද වස පානය කර දිවි අහිමි කරගැනීමටය. ඇය සිය දරුවන් දෙදෙනාට අන්නාසි මොටැයියන් කිරීමේදී භාවිත කරන යම් රසායන ද්‍රව්‍යයක් පැණි රස සිරප් කුප්පි දෙකකට මිශ්‍ර කර ගෙනවිත් එය පානය කරන ලෙස පවසා ඇයද වස කුප්පි දෙකක් පානය කර ඇත. දරුවන් මව විසින් දුන් එම වස පානය කරන්නේ ඒ පිළිබඳ හාංකවිසියක් නොදැනය.

දියණිය වස කුප්පියෙන් භාගයක් බී ඇති අතර පිරිමි දරුවා සම්පූර්ණයෙන්ම වස කුප්පිය පානය කර ඇත. එසේ වස පානය කළ තම මව ඇද වැටෙන අයුරුත්, සහෝදරිය සිහි මුර්ජා තත්ත්වයෙන් සිටින අයුරුත් දුටු පිරිමි දරුවා වහාම අසල්වැසි නිවසකට දිව ගොස් මේ බව පවසා ඇත.

අසල්වැසියන් පැමිණ ධම්මිකාගේ සහ දරුවාගේ තත්ත්වය පරීක්ෂා කරද්දී ඔවුන් වස බී ඇති බව හෙළිවී ඇත. ඔවුහු දරුවන් දෙදෙනා සහ මව මීරිගම මූලික රෝහලට ඇතුළත් කරන්නට පියවර ගත්හ.

බරපතළ තත්ත්වයේ පසුවූ මොවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට යවා ඇති අතර පසුව දරු දෙදෙනා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යවා ඇත.

ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පස් හැවිරිදි පේෂාන් සචින්ත ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 09 හැවිරිදි දියණිය ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙමින් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.



දරුවන්ට වස පෙවූ මවද මේ වනවිට දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ප්‍රතිකාර ලබන මවගේ සහෝදරයෙක් අප සමග මෙසේ පැවසුවේය.

මේ පුතාලගේ තාත්තා ටයිල් වැඩ කරන කෙනෙක්. හරිම අහිංසකයි. අරක්කු සිගරට් බොන්නෙත් නෑ. මම දන්නේ නෑ නංගි මෙහෙම කරගත්තේ ඇයි කියලා. මට ආරංචියි නංගි ගොඩක් ණයතුරුස් වෙලා තියෙනවා කියලා. ඒත් අපි දන්නේ නෑ මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා.‍

දරුවාගේ පෙර පාසල් මිතුරකුගේ මවක් මෙසේ කීවාය.

අනේ මේ අම්මා පෙර පාසලේ මුදල් ගෙවාගන්න බැරිව ඉතා අමාරු තත්ත්වයකින් තමයි හිටියේ. මගෙනුත් අත මාරුවට මුදල් ඉල්ලගෙන තියෙනවා. අනේ මේ දරුවන්ට වස දුන්නේ ඇයි. අපිට කිව්වනම් අපි මේ ළමයා හදා වඩා ගෙන ලොකු වුණාම ආපහු භාර දෙනවා.

දරුවාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි අසල්වැසියෙක් වන ජගත් කුමාර මෙසේ සඳහන් කළේය.

මේ මරණයට ප්‍රධාන හේතුව මම හිතන හැටියට අධික ණයතුරුස් වීමයි. මේ ගේත් උකස් කරලයි තියෙන්නේ. මේ අම්මා හැම තැනටම ණය වෙලා කියලයි අපිට ආරංචිය.

මරණය සම්බන්ධයෙන් නාල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මියගිය දරුවාගේ අවසන් කටයුතු ඊයේ (02 වැනිදා) තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

මනෝජ් එදිරිසිංහ- මීරිගම