වේලාවට කිරි කෝප්පයක් සාදා අතට නොදුන්නා යැයි පවසා අලුත ගෙනා මනාලියක් නැන්දම්මාට කිරි කෝප්පයකින් දමා ගසා රැකියාවට ගොස් ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්රදේශයේ ග්රාමයකින් වාර්තා වෙයි.වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල නගරයට නුදුරු ගම්මානයකි. මෙම ගම්මානයේ දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් මව්පිය යුවළක් පදිංචිව සිටිති.
මෙම මව්පිය යුවළගේ බාල පිරිමි දරුවා හැර සෙසු වැඩිමහල් දරුවන් තිදෙනා විවාහ වී වෙන වෙනම පදිංචිව සිටිති. බාල පිරිමි දරුවා රජයේ රැකියාවක් කරන අතර කල වයස සම්පූර්ණ වීමත් සමඟ මනාලියක් කැන්දාගෙන ඒමට මව්පියෝ කටයුතු කරමින් සිටියහ. කපු මහත්මයකු විසින් මීට වසර දෙකකට ඉහතදී ගෙනා යෝජනාවකට අනුව මීට මාස කිහිපයකට ඉහතදී රජයේ රැකියාවක නියැළී සිටින මනාලියක කැන්දාගෙන ආවේ වයඹ පළාතෙනි.
වයඹ පළාතෙන් මනාලිය කැන්දාගෙන පැමිණිය ද තවමත් ඇයට ස්ථාන මාරුව කෑගල්ලට සාදා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇය පාන්දරින්ම රැකියාවට පිටත්ව යාමට පුරුදුව සිටියාය. ලේලිය පාන්දරින්ම රැකියාවට පිටත්ව යන නිසා ඇය ගැන අනුකම්පා කළ මනාලයාගේ මව්පියෝ පාන්දරින්ම නැගිට කෑම උයා පිහා කෙසෙල් කොළයක ඔතා කෑම පර්සලයක් බැඳ දීම පුරුද්දක් කරගෙන සිටියහ. සෑම දිනකම නිවසින් මිනිත්තු කිහිපයකට පෙර පිටත් වීමට ආසන්නයේ දී කිරි කෝප්පයක් ද සාදා ලේලිය අතට දීමට නැන්දම්මා අමතක නොකළාය.
ඉකුත් දිනෙක නැන්දම්මා ලේලියට සියල්ල කර දී තිබුණ ද ඇය අවදි වීම ප්රමාද වීම හේතුවෙන් ලහි ලහියේ සියල්ල සූදානම් කරන අවස්ථාවේ දී කෑගල්ල නගරය බලා යාමට බස් රථය ඈතින් පැමිණෙන ශබ්දය ලේලියට ඇසුණි.
ලේලිය හනික ලෑස්ති වී කෑම පාර්සලයත් රැගෙන මඳ අඳුරේ නිවසින් එළියට බහින්න සුදානම් වූ අවස්ථාවේ දී නැන්දම්මා විසින් සාදා කාමරයේ මේසය මත තබා තිබුණු කිරි කෝප්පය පානය කරන්න ලේලියට වේලාවක් නොතිබුණි. පසුව නැන්දම්මා කාමරයට ගොස් කිරි කෝප්පය ගෙන ලේලිය අත තැබුව ද ප්රමාද වී අවදි වීම හේතුවෙන් යම් කෝපයකින් සිටි ලේලිය කිරි කෝප්පය කල් ඇතිව පානය කරන්න සාදා නොදුන්නා යැයි පවසා නැන්දම්මාට තේ කෝප්පයෙන් දමා ගසා බස් රථයට දිව ගොස් ඇති බව වාර්තා වෙයි.
පාන්දරින්ම අවදි වී උයා පිහා සියල්ල කර දෙන තමන්ට කිරි කෝප්පය අතට නොදුන්නා යැයි ලේලිය කිරි කෝප්පයෙන් දමා ගැසීම සම්බන්ධයෙන් සිත් වේදනාවෙන් අසල්වැසි කාන්තාවක සමග සිව් දරු මව පවසා ඇතැයි ද වාර්තා වෙයි.
චමින්ද වැවතැන්න
0 Comments