omicron-bf7-sri-lanka

බටහිර පැසිෆික් කලාපයේ චීනය, ජපානය යන රටවලද, ඇමෙරිකානු කලාපයේද පැතිරෙමින් තිබෙන බී.එෆ්7 ඔමික්‍රෝන් කෝවිඩ් අනුප්‍රභේදයෙන් තවම ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, ඉදිරියේදී අවදානම් තත්වයක් ඇතිවුවහොත් එයට මුහුණ දීම සඳහා හැකි ඉක්මනින් එන්නත්කරණ කටයුතු සම්පූර්ණ කරගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.ඒ අනුව පළමු හා දෙවැනි මාත්‍රා පමණක් රැගෙන සිටින අවුරුදු 20ට වැඩි පිරිස හැකි ඉක්මනින් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාර් කාර්යාලයට හෝ ළඟම ඇති රෝහලට ගොස් වර්ධක මාත්‍රාව නැතහොත් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙසට ඔහු ඉල්ලා සිටියේය.



මින් පෙර බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදුන් ෆයිසර් එන්නත වෙනුවට සයිනොෆාම් එන්නත් ඒ සඳහා ලබාදීමට කෝවිඩ් විශේෂඥ කමිටුවේ අනුමැතිය ලබාදුන් බවත්, මේ වනවිට ඒ සඳහා චක්‍රලේඛයක්ද නිකුත් කර එන්නත්ද නිකුත් කර ඇති බවත් හෙතෙම පැවසුවේ ඊයේ (04දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති කෝවිඩ් රෝගයේ නවතම තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමිනි. තවද කෝව්ඩ් රෝගයෙන් වැඩි වශයෙන්ම මියයන අවුරුදු 60ට වැඩි හා නිදන්ගත රෝග වලින් පෙළෙන අයගෙන් ඉතාම සුළු පිරිසක් දෙවැනි වර්ධක

මාත්‍රාව ලබාගෙන ඇති නිසා ඔවුන්ද ආරක්ෂිත පියවරක් ලෙස හැකි ඉක්මනින් සිවුවැනි මාත්‍රාව ලෙස සයිනොෆාම් මාත්‍රාවක් ලබාගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.  එසේම පළමු හා දෙවැනි මාත්‍රා දෙකෙන් එකක්වත් නොගෙන සිටින අවුරුදු 18ට වැඩි පිරිස් සිටී නම් ප්‍රාථමික එන්නත්කරණයට යොමු  වන ලෙසත්, ඉදිරියේදී යම් තත්ත්වයක් ඇති වුවහොත් එය කළමනාකරණය කරගැනීමට ඒ මගින්  හැකියාවක් ලැබෙනු ඇතිබවටත් හෙතෙම පවසා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා,



"දැන් නැවත අපේ  ජනතාව බිය වී තිබෙනවා වෙනත් රටවල පවතින කෝවිඩ් තතත්ව ගැන මාධ්‍ය දක්වන වාර්තා නිසා. පැහැදිලිවම අවදානමක් අපට තිබෙනවා. අපට මේ අවදානම අඩු කරගන්න මොකක්ද කරන්න පුළුවන්  කියන දේ ගැන තමයි අපි මේ වෙලාවේ සැලකිලිමත් විය යුත්තේ. ඒ අනුව අපි  දන්නවා එන්නත්කරණය කළාට පසු කාලයක් යද්දී ප්‍රතිශක්තිකරණය සාපේක්ෂව අඩු වීමක් දකින්නට ලැබෙන බව. ඒ නිසා ප්‍රාථමික එන්නත්කරණයට(පළමු හා දෙවන මාත්‍රාව ලබාගත්) ලක්වූ අයට දැන් වසරකට  වැඩි කාලයක් ගත වී තිබෙනවා එන්නත් රැගෙන. මේ වෙද්දී ඔවුන්ගේ ඇඟේ තිබෙන ප්‍රතිශක්තිකරණ මට්ටම අඩු වීමේ හැකියාවක්  තිබෙනවා. බූස්ටර්  මාත්‍රාව ලබාගත් අයගේ ප්‍රතිශක්තිකරණය යම් හොඳ මට්ටමක පවතින්න පුළුවන්. ඒ අනුව පැහැදිලිව අපි දකින්නේ රෝගී මරණ අඩු වුණ නිසා අපේ ජනතාව බූස්ටර් මාත්‍රාව ලබාගැනීමෙන් වැළකී සිටියා.

අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අපි කිව්වා මේ බූස්ටර් මාත්‍රාව ලබා ගන්න කියලා. අපේ රටේ අවුරුදු 20ට වැඩි ජනතාව ඉන්නවා මිලියන 14.2ක්. නමුත් මේ මිලියන 14.2න් මිලියන 8.1ක් වගේ පිරිසක් තමයි බූස්ටර් මාත්‍රාව ලබාගත්තේ. පවතින තත්ත්වයත් එක්ක ජනතාවට කියන්නේ හොඳ  සෞඛ්‍ය පුරුදු පාවිච්චි කරන්න. දෑත් සේදීමේ පුරුද්ද දිගටම කරගෙන යන්න, ඇහැ කන නිතර අත ගාන පුරුද්ද වළක්වාගන්න. විශේෂයෙන් ජනතාව ගැවසෙන තැනකට යනවානම් මුහුණු ආවරණ පලඳින්න.

හැකි හැම අවස්ථාවකම දුරස්ථ බව පවත්වාගන්න. තමන්ට කැස්ස, උණ, උගුරේ අමාරුව තිබෙනවා නම් කෝවිඩ් නොවුණත්, සමාජ වගකීම් කරගෙන මුව ආවරණ පලඳින්න වගේම ජනතාව ගැවසෙන ස්ථානවලට යෑමෙන් වළකින්න.

තමුන්ට ලෙඩේ උත්සන්න වෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න. අවුරුදු 60ට වැඩි හෝ නිදන්ගත රෝග ඇති අයෙකු නම්, ගර්භිණී මවක් හෝ කිරිදෙන මවක් නම් අප්‍රමාදව කෝවිඩ් යැයි සැකකරන ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මේ ටික හරියට කරනවා නම් මොන තත්ත්වයක් ඇති වුණත් අපට ඇති විය හැකි බලපෑම අඩු කරගන්න පුළුවන්. දැනට අපිට සෘජු බලපෑමක් නැහැ. නමුත් ඉදිරියේ බලපෑමක් ආවොත් මීට එහා ගිය පියවර ගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය කමිටු සාකච්ඡාවලින් පසු අවශ්‍ය තීන්දු තීරණ ගනීවි. “ යනුවෙන් කියා සිටියේය.


 නදිශානි පතිරණ