panadura-incident

ගසකින් වැටී කොන්දකැඩි, රිය අනතුරකින් දකුණු පාදය කපා ඉවත් කළ රෝද පුටුවක සිඟමන් යදිමින් සිටි යාචකයකුට දත් තුනක් කැඩෙන්න  පහරදී රෝද පුටුවට ද හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට පානදුර නගරයේ ප්‍රධාන ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලිසිය පවසයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර,

මහවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපනශාලාවක් පවත්වාගෙන යන හිමිකරු, ඔහුගේ සොහොයුරා සහ හෝටල් සේවකයකු බව පොලිසිය කීය.

පානදුර, මහවිල මහවිල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය. පහර කෑමට ලක් වූ පුද්ගලයා පොල් ගසකින් ඇද වැටී, කොන්ද කැඩී ඇති බවත් රිය අනතුරකට ලක්ව දකුණු පාදය ඉවත් කර කෘතිම පාදයක් යොදා සිටින බවත් සඳහන් වේ. ඔහු ඉකුත් 28 වැනිදා රාත්‍රී පහරදීම සිදු කළ බව කියන ප්‍රධාන සැකකරුට  අයත් ආපනශාලාව ඉදිරිපිට සිගමන් යදිමින් සිටියදී අමානුෂික ලෙස කළ පහරදීමෙන් දත් තුනක් ගැලවි ගොස් ඇති බවත් රෝද පුටුවටද හානි කර ඇති බවත් පොලිසිය කීය.

පහර කෑ ආබාධිත යාචකයා කෑ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. සැකකරුවන් අලුබෝමුල්ල නාත්තණ්ඩිය සහ බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුහු අද (5) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
සුමිත් පොතුපිටිය