පොලිසියේ උසස් නිලධාරින්ගේ නම් භාවිත කරමින් ජනතාව පීඩාවට පත්කරන විගණන නිලධාරියකු බව කියන පුද්ගලයකු නිසා තමන් පීඩාවට පත්ව ඇතැයි රාගම ප්‍රදේශයේ ජනතාව පවසති.
වරෙක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පෞද්ගලික සහකාරවරයකු, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයකු, පොලිසියේ විගණන නිලධාරියකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු ලෙස අවස්ථා රැසකදී මෙම පුද්ගලයා පෙනී සිටින බවද එම ජනතාව පවසති. මෙම පුද්ගලයාගේ යාබද නිවසේ වෙසෙන පොලිස් කොස්තාපල්වරයකු සමග ඇති වූ පෞද්ගලික ආරවුලකින් පසු එම නිලධාරියාගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් යවා පරික්ෂා කිරීමට තරම් බලයක් ඔහුට ඇති බවද පැවැසේ.
ඔහුගෙන් එල්ලවන පීඩනය දරාගත නොහැකි වූ පොලිස් කොස්තාපල්වරයා විසින් අවස්ථා කිහිපයකදී පොලිස් මූලස්ථානයට ඔහු පිළිබඳ පැමිණිලි කර වසර දෙකකට අධික කාලයක් ගතවී ඇතත් නිසි විසඳුමක් ලැබී නොමැති බවද පැවසේ. එම පුද්ගලයාගේ නිවසට යාබදව වෙසෙන තවත් පුද්ගලයන් කිහිපදෙනකුටද ඔහුගෙන් හිරිහැර සිදුවුවත් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ඔවුන් පැකිළෙන්නේ පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් මෙම පුද්ගලයාගේ හිතවතුන් වීම නිසා බවද පැවැසේ.
කලින් කලට විවිධ නිලධාරීන් ලෙස වෙස්ගෙන සිටින මෙම පුද්ගලයා පිළිබඳ සොයා බලා ප්‍රදේශවාසීන්ට සිදුවන පීඩනය වළක්වා දෙන්නැයි ඔවුහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිති.
හේමන්ත ලියනපතිරණ
0 Comments