parliament-fish

පිසින ලද මාළු කෑලි විස්සක් ඇතුළු ආහාර ද්‍රව්‍ය පාර්සලයක්  පාර්ලිමේන්තුවෙන් පිට කිරීමට උත්සාහ දැරූ බව කියන එහි ආහාරපාන අංශයේ සේවකයෙක් පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (11) සවස අත්අඩංගුවට ගනු ලැබීය.එම සේවකයා සම්බන්ධයෙන්  විනය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ. මෙම ආහාර ද්‍රව්‍ය පාර්සලය හමුවී ඇත්තේ සැකකරු පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටවීමට උත්සාහ දැරූ අවස්ථාවේ දී ඔහුගේ ගමන් මල්ල පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබූ අවස්ථාවේදීය. මෙම පාර්සලයේ තිබී දියර කිරි බෝතලයක් සහ ඉගුරු ග්‍රෑම් 250ක්ද සොයාගත් බව පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.



දියර කිරි තිබී ඇත්තේ හිස් වතුර බෝතලයකය.  මේ අතර ටින්කිරි ටින් ඇතුළු ආහාර ද්‍රව්‍ය පාර්ලිමේන්තුවෙන් පිට කිරීමට උත්සාහ දැරූ බව කියන එහි භාණ්ඩ පරීක්ෂා අංශයේ (එක්ස්රේ) සේවකයෙක් පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරින් විසින් මීට මාස කිහිපයකට ඉහත දී අත්අඩංගුවට ගනු ලැබීය. පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ වැඩ තහනම් කරනු ලැබීය.  පාර්ලිමේන්තුවෙන් ආහාර ඇතුළු භාණ්ඩ පිටකිරීම වැළැක්වීම සඳහා ක්‍රියා මාර්ග ගන්නැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා අදාළ අංශවලට දැනටමත් නියෝග කර ඇත. කෙසේ වෙතත් ආහාර ද්‍රව්‍ය පිට කිරීම දිගින් දිගටම සිදුවන බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති. මෑතක සිට ආහාර ද්‍රව්‍ය පිට කිරීම වැඩි වූ තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ඔවුහු පෙන්වා දෙති.  මේ අතර පාර්ලිමේන්තුවේ ආහාර විශාල ප්‍රමාණයක් අපතේ යෑම නිසා ද දෛනිකව නාස්ති වන බව වාර්තා වේ.


සුජිත් හේවාජුලිගේ