කොළඹ පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ කිරි කඩයක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ ලියාපදිංචි බලපත්‍රයක් උපයෝගී කරගෙන පොහොර ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගමක් හොරණ කර්මාන්ත ශාලාවකට යූරියා පොහොර තොග වශයෙන් මුදලට විකිණීමේ මහා පරිමාණ වංචාවක් අනාවරණය වී ඇතැයි ජාතික පොහොර ලේකම් කාරියාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.ඒ බව අනාවරණය වී ඇත්තේ 2018, 2019, 2020 වසරවලදී සහනාධාර වශයෙන් ගොවීන් වෙත ලබාදීම සඳහා ගෙන්වන ලද යූරියා පොහොර තොග සම්බන්ධයෙන් සිදු වී ඇතැයි කියන අවභාවිතාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලදී බව ද එම නිලධාරියා කිය.
2018 වසරේදී ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් පොහොර සමාගම් 19කට පොහොර ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබූ අතර එම සමාගම්වලින් දෙකක් රජයේ අනුබද්ධ සමාගම් බවත් සඳහන් වේ. රජයේ අනුබද්ධිත සමාගම් දෙක මගින් ගෙන්වූ යූරියා පොහොර වී වගාවට පමණක් ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා පොහොර මිටියක් රුපියල් 500 මිලකට ගොවින් වෙත ලබා දී ඇති අතර වී වගාව හැර අනෙකුත් සියලුම බෝග වගාවන් සඳහා අනෙකුත් සමාගම්වලින් යූරියා පොහොර මිටියක් රුපියල් 1100ක මිලකට අලෙවි කර තිබිණ. එම මිල ප්‍රමාණයන් නියම කර ඇත්තේ කැබිනට් මණ්ඩලය මගිනි.
කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය වන පොහොර අදාළ කර්මාන්ත ශාලාව මගින් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අවසර ලබාගෙන ආනයනය කළ යුතුව තිබූ අතර ගොවීන්ට දෙන පොහොර හා වැවිලි බෝග සඳහා ලබාදෙන පොහොර කිසිම හේතුවක් මත කර්මාන්තශාලාවලට දීමට නොහැකි යැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් කීය.
කර්මාන්ත ශාලා දෙකක් නොවටිනා දැව කඳන් මිලදී ගෙන ඒවා කුඩු බවට පත්කර විශාල ටැංකිවලට බහා එම ටැංකිවලට මෙම යූරියා පොහොර මහා පරිමාණයෙන් එක්කර කෘත්‍රිම බෝඩ් නිෂ්පාදනය කර එමගින් ගෘහ භාණ්ඩ සාදන අතර ඒවා අපනයනය කරන බව ද ඔහු පැවසීය.
ආනයනික පොහොර සමාගම් කීපයක් ගොවීන්ට සහනාධාර පොහොර ආනයනය කරන මුවාවෙන් ගෙන්වන ලද පොහොර නීත්‍යනුකූල නොවන ක්‍රම උපායන් යොදාගෙන කර්මාන්තශාලා දෙකට මහා පරිමාණයෙන් යූරියා පොහොර සපයා ඇතැයි ද ඔහු කීය. කොළඹ පීපල්ස් පාර්ක් හි කිරි කඩය වෙනුවෙන් ලබාගත් ලියාපදිංචි බලපත්‍රය අදාළ සමාගමේ තුන්වන පාර්ශ්වකරුවකු හැටියට නම් කර අදාළ කර්මාන්ත ශාලාවෙන් මුදල් ගැනීම සඳහා බිල්පත් ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments