piliyandala-incident

විදේශගත කරන බව පවසා මුදල් වංචා කිරිමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක පිරිමි හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමත් සමඟම පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පුදුමයට පත්වීමේ සිද්ධියක් පිළියන්දල පොලිසියෙන් වාර්තා වේ. 

ඩුබායි රටේ රැකියාවකට ඉතා ඉක්මනින් යවන බව පැවැසූ පිළියන්දල ප්‍රදේශයේ කාන්තාවකට රුපියල් පන්ලක්ෂ හැට දහසක මුදලක් ලබා දුන් බවත් මේ වන විට මාස හතක් ගත වී ඇතත් දිනෙන් දින කල් යවමින් එය ඉටු නොකළ බව පවසමින් පුද්ගලයන් දෙදෙනකු පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.  ඒ අනුව එම කාන්තාව පිළියන්දල පොලිසියේ අපරාධ අංශය වෙත කැඳවා කළ ප්‍රශ්න කිරීමේදී තමන්ට පැමිණිලිකාර පුද්ගලයන් මුදල් දුන් බවත් තමන් අතරමැදියකු පමණක් බවත් එම මුදල් විදේශගත කිරීමට පොරොන්දු වූ තමන් දන්නා හඳුනන පිළියන්දල ප්‍රදේශයේ ම කාන්තාවකට දුන් බවත් ඇය ප්‍රකාශ කර තිබූ බව පොලිසිය පවසයි.

අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා පොලිස් නිලධාරිනියක  අමතා කාන්තාවගේ එම ප්‍රකාශය සටහන් කරගෙන මුදල් ලබාගත් බව කියන කාන්තාව පොලිසියට කැඳවීමට පියවර ගත්තේය. ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව කාන්තාව ගේ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව ඇය මුදල් දුන් බව කියන කාන්තාවගේ ජංගම දුරකථන අංකය ලබාගෙන වහාම පස්වරු 4 ට පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ පෙනී සිටින ලෙස දැනුම්දීමට පොලිස් නිලධාරිනිය පියවර ගෙන තිබිණි. නියමිත වෙලාවට කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසුණ කාන්තාවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිටි අතර පැමිණිලිකරුවන් ද කැඳවා පැමිණිල්ල විභාග කිරීමේ දී විදේශගත කරන බව පවසා ඇය මුදල් ලබාගත් බව පිළිගෙන තිබිණි.

ඒ අනුව පොලිස් නිලධාරිනියක කැඳවූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස කළ දැනුම්දීමක් අනුව එම නිලධාරිනිය ඇයගෙන් හැඳුනුම්පත ඉල්ලාගෙන එහි තිබෙන නම සටහන් කිරීමට පරික්ෂා කිරීමේදී පිරිමි නමක් එහි දකින්නට ලැබීමත් සමගම එහි තිබෙන ඡායාරූපය දෙස බලා කාන්තාව දෙස බැලීමේදී හැඳුනුම්පතෙහි තිබෙන ඡායාරූපය එම කාන්තාවගේ රුව බව දැකීමෙන් වික්ෂිප්ත භාවයට පත්වී අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හමුවට ගොස් ඒ පිළිබඳ පවසා තිබේ.

පොලිස් නිලධාරිනියගේ එම ප්‍රකාශයත් සමගම නිරතවී සිටි කාර්යය මඳකට නතර කළ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා මුදල් වංචා කළ බව කියන කාන්තාව කැඳවා ප්‍රශ්න කිරිමේදී තමන් හෝමෝන විපර්යාසයකට මීට මාස කීපයකට ඉහත දී ලක් වූ බවත් ඒ පිළිබඳ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී හැඳුනුම්පතක්ද සකස් කළ බවත් ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශයත් සමඟම පොලිස් නිලධාරියකු කැඳවූ ස්ථානාධිපතිවරයා සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස දැනුම් දීමට පියවර ගෙන තිබිණි. සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.  පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ