police-dig-horoscope

පොලිස්පතිවරයාගේ ධූරයේ සේවා දිගුවක් ලැබෙනවාද නැද්ද යන්න දැනගැනීමට ඔහුගේ කේන්දරයේ කොපියක් සොයාගෙන එය රැගෙන සාස්තරකරුවන් හමුවට ගිය ඩීඅයිජී කෙනෙකු ගැන තොරතුරු සැලවී ඇතැයි පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා සිකුරාදා පැවති හමුවකදී අදහස් දක්වා තිබේ.


පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් නවදෙනෙකු විශ්‍රාම යාම හේතුවෙන් පොලිස් මූලස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

මෙවැනි ලැජ්ජා සහගත හැසිරීම් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම බලපාන බවත් මෙම සියලුම කරුණු දෙස උපේක්ෂා සහගතව බලා සිටින තමන් තුළ සැඟව සිටින යක්ෂයා අවධි නොකරන ලෙසත් පොලිස්පතිවරයා ඉල්ලා සිටියේය.

පොලිස් ධුරයට නිලධාරියෙක් පත්වන නිසි ක්‍රමවේදයක් සහ පිළිගත් ගෞරවනීය ක්‍රමයක් සම්ප්‍රදායක් තිබෙනවා. එසේම පොලිස්පති ධුරය යනු ඉතාමත් ගෞරවනීය ධුරයක්. එය දේශපාලනයෙන් හෝ බලහත්කාරයෙන් අත්පත් කර ගත නොහැකි බවද පොලිස්පතිවරයා අවධාරණය කළේය. 
(හේමන්ත ලියනපතිරණ)